Friday, November 5, 2010

ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී....







18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීමට ඔබ්බෙන් ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී.




18 වන ව්‍යවස්ථා සංශෝධනය හා මගතොටේ හමුවන මනුෂ්‍යයා අතර සම්බන්ධයක් නැත. ඇය ව්‍යවස්ථා සංශෝධනයේ කුමක් තිබෙනවාදැයි දන්නේද නැත. එහි කුමක් තිබුණත් නැතත් ඇයට ඉන් පලක් ඇත්තේද නැත. ඒ ඇයට වෙන වැඩ ඇති නිසාය. වෙන වැඩ කිරීමට ඇයව බලහත්කාරයෙන් යොමු කරවා නැත. ඒවා ඇයගේ වූ අත්‍යන්තමය තෝරා ගැනීම්ය. මේ නිසා 18 ට විරුද්ධ වන ලෙස ඇයව පොළඹවන්නේ නම් එය බලහත්කාරයකි. ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමකි. මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ විශිෂ්ඨතම නිර්මාණය, එනම් ස්වඡන්දය (Freewill)ඇගෙන් උදුරා දැමීමකි. කරුණාකර ඇයට කරදර නොකරන්න. ඉඩදෙන්න.

බටහිර දර්ශණ ඉතිහාසයේ ඉතාම වැදගත් දාර්ශණික මැදිහත්වීමක් කල එම්මානුවෙල් කාන්ට්, එතෙක් සිටි සෑම දාර්ශණිකයෙකුගේම ව්‍යායාමය එක් හෝ අනෙක් පරභෞතික වාදයක් ගොඩනැගීමට වෙහෙසීමක් ලෙස සලකා ඒ සියළු ව්‍යායාමයන් වැලිමත තනන ලද මාලිගාවන් බව ප්‍රකාශ කරයි. ඊට ප්‍රතිපක්ෂව ඔහු වෙනත් ප්‍රවේශයක් ගනු ලබයි. එනම් එවැනි පාරභෞතිකවාදයන් ( metaphysics) ගොඩනැගීමට පෙර ඒවා ගොඩනගා ගැනිමට අවශ්‍ය වන උපකරණය හෙවත් බුද්ධියේ, විචාර ශක්තියේ හැකියාව සොයා බැලිය යුතු බව පවසයි. කාන්ට් ගේ මෙම මැදිහත්වීමට පසුව දර්ශණයේ ඇති ප්‍රධාන කටයුත්ත ඥානවිභාගය බවට පත්විය. (Theory of knowledge / pistemology) මෙතැන් සිට පිළිතුරක් ගොනු කර ගැනීම සඳහා කාන්ට් විසින් නගන ප්‍රධාන පැනය, මා දැනගන්නේ කුමක්ද (What do I know) යනුයි. මේ සඳහා කාන්ට් ගොනු කරන පිළිතුර වටහා ගැනීම තරමක් දුෂ්කර යයි සිතමි. කෙසේ වෙතත් ඔහුගේ පිළිතුර මෙවැන්නකි. ඔහුට පෙර දාර්ශණික වාදයන්හි පිළිගැනුනේ, මනස බාහිර වස්තූන්ට අනුකූලව හැඩගැසෙන බවකි. ඔහු ඊට මුළුමණීන්ම ප්‍රතිවිරුද්ධව යමින්, බාහිර වස්තූන් අපගේ මනසේ ප්‍ර‍ාග් අනුභූතීමය ආකෘතීන්ට අනුකූලව පවතින බව අවධාරණය කලේය. (මෙය බැලූ බැල්මට තදබල විඥානවාදී ස්ථාවරයක් ලෙස පෙනුනත් කලබල නොවීම වඩා යහපත්ය. නිගමනයකට පැමිණීමට පෙර අධ්‍යයනය කිරීම අරඹන්න).

මෙහිදී කාන්ට් උත්සාහ කරන්නේ බාහිර වස්තුවක් ලෙස බැලීමට නොව, මනසේ ඥානය හා සම්බන්ධ අංශය දෙස බැලීමටය. කාන්ට් ගේ පිළීතුර සරළ කරමු. බාහිර වස්තුව හෝ සිදුවීම මනසේ මේ වන විටත් අභ්‍යන්තරීකරණය වී ඇති මානසික ආකෘතියකට අනුව පෙළ ගැසීම එහි සරළතම අර්ථයයි. (මෙය එතරම් හොඳ සරළ කිරීමක් නොවන බව සලකන්න) කාන්ට් ට පසුව පැමිණි විල්හෙල්ම් ජෝර්ජ් හේගල් මානසික ආකෘතීන් අභ්‍යන්තරීකරණය වන්නේ කෙසේද? යන පැනය අළුතින් අසන ලදී. ඊට පිළීතුරු ගොනු කිරීමේ ව්‍යායාමයේදී ඔහු විසින් අපෝහක රීතිය හෙවත් ද්විඝටනාත්මක රීතිය හඳුන්වා දෙනු ලැබිණි. එහිදී ඔහු කාන්ට් ඉදිරිපත් කල ඥානවිභාගාත්මක ක්ෂේත්‍රයෙන් ඉවත් වූයේ නැත.
01 සටහන
02 සටහන
 පුද්ගල ආත්මයේ ආත්මීය-සාරය (Spirit) ගොඩනැගෙන අයුර හේගල් අදියර තුනකින් විස්තර කරයි.( 1 හා 2 සටහන) සෛද්ධාන්තික හා ප්‍රයෝගික ආත්මීය සාරයෙන් දෙකේ ඒකත්වය ස්වඡන්දතාවය (freewill) ලෙස හේගල් පෙන්වා දෙයි. එය පහත පරිදිය.
03 සටහන
 මෙහිදී අවසානයට පැවසිය හැක්කේ සෛද්ධාන්තික හා ප්‍රායෝගික ආත්මීය සාරයන්ගේ විකසිත වීම හේතුවෙන් ස්වඡන්දතාවයකින් යුතු පරම ආත්මීය සාරයක් විකසිත වන බවයි. (නූතන බටහිර දර්ශණය- ඒ.ඩී.පී කලංසූරිය)

අද දවසේ ලොතරැයි කූඩුවකින් ලොතරැයියක් මිලදී ගන්නියකගේ ස්වඡන්දය නිර්මාණය වී ඇත්තේ ඉහත ආකාරයටම වුවත් එය වටහා ගැනීම අතිශය දුෂ්කර අභ්‍යාසයකි. හේගල් ගේ පරම නිශ්ඨාව ලිබරල් චින්තනයේ මූලාරම්භක අවධියේ හඳුනා ගැනීමකි. නමුත් අප අද දවසේ ලිබරල් චින්තනය ඔක්කාරයට පැමිණෙන මට්ටම දක්වා ඒ සමඟ චාරිකාවේ නිරත වී ඇත. එයින් අද දවසේ ස්වඡන්දය සැකසෙන අයුරු ඉතාම පහසුවෙන් වටහා ගැනීම සඳහා සාහිත්‍ය කෘතියකින් කොටසක් උපුටා දැක්වීමට අදහස් කරමි. මේ උපුටනය පියල් කාරියවසම් ගේ වීදුරු කුඩු කැවුනු කලෙක නවකතාවෙනි. (?)

අල්මාරියෙන් ගත් ඩෙනිම් කලිසමට ගැලපෙන්නාවූ කපු කමිසයෙන් සැරසී සුපිරි වෙළඳසැල වෙත යන්නට රථය පණ ගන්වා ගතිමි.  ගතවූ කුටුම්භ ජීවිතයේදී අවශ්‍ය සිල්ලර උවමනා එපාකම් මිලදී ගන්නට කිසිවිටෙක නිවසින් බැහැර නොගියද උපත් පාලන කොපුවේ සිට දියවැඩියා එන්නත දක්වාත්, බුලත් විටේ සිට බලු බළල් හුරතලුන්ගේ කෑම ටික දක්වාත් එක්තරා පිළිවෙලකට අසුරා ඇති මෙහි ගැවසීම, ලෝකය අමතක කරන්නා වූ සුළු වෙයි. කිසිදිනෙක පියෙවි මනුශ්‍යයෙකු හට අවශ්‍ය නොවන්නා වූ සමහර ඇසුරුම් මෙහිදී අත්‍යාවශ්‍ය දේ ලෙස සිත්වේ. මිලදී ගන්නට සිදුවෙයි.

නොපෙනෙන ශබ්ද විකාශන යන්ත්‍රයකින් සමබර කල සියුම් නාද මාලා ඇති ඉංග්‍රීසි හා සිංහල ගීත විකාශය වෙයි. දුහුවිලි බිඳක් නොමැති කෘත්‍රීම කිරිගරුඬ පොළොවේ නීරෝගී රෝස පැහැති දරුවෙක් දණ ගාද්දී දෙමාපියෝ සිහිනයෙන් සක්මන් කරන්නාක් සේ රාක්කයෙන් රාක්කයට යති. ද්විභාෂික වෙළඳ සේවිකාවෝ - කළමණාකාරවරු - සහෝදර සහෝදරියන් මෙන් සුහද වෙති. තාවර වන්නට හේතු නැත. ඇත්තේ මිලදී ගැනීම පමණි.

අරගලය ඇත්තේ 18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීම තුල නොවේ. එමෙන්ම පුද්ගල පරිකල්පනයට අනුව ගොඩනගාගත් කඳවුරු දෙකක් අතර නොවේ. පුද්ගල ස්වඡන්දය  නිර්මාණය කිරීමේ යාන්ත්‍රණය තුලයි. එනම් ධනවාදී වෙළඳ පොල යාන්ත්‍රණය තුලයි. නොඑසේ නම් ධනවාදය තුළයි. ක්‍රමය සවිඥානක කරවීමේ මූලික අභ්‍යාස තවමත් දේශපාලනික වන්නේ එබැවිනි.

- වාමදේව.

3 comments:

Anonymous said...

There is nothing to disagree with this post.The discussion flows on what we don't agree. As Vamadewa correctly mentioned /... the fundamental exercises to make the system conscious to the mass is still political./

That is the pivotal point of politics.

Clement Peris
Calgary.

Anonymous said...

නියම ලිපියක්. දිගටම ලියන්න. සිංහල බ්ලොග් වල මේ කලාපයේ ලොකු අඩුවක් තියෙනවා.

Anonymous said...

liyanna kiwwata,liyanna ona hindama liyala wadak na.kiyaweemath e wagema wadagath.aththatama kiyawana daha pahalawak wath hadaganna puluwannam eka sirawatama political.
CLEMA.
gataluwa thamai "nokiyaweema".print edition unath web hari blog hari unath thathwaya ekamai.kiyaweema saha joliyata baleema athara wenasak thiyenawa.pilithura mokakda.
pradeep.
mangostine estate