Tuesday, December 6, 2011

දේශීය මන්තරය දේශීයත්වය උදෙසාමද ? (සෝමාවතී වනෝද්‍යානයේ අක්කර 11,600 ක් ඇමරිකානු ඩෝල් සමාගමට)

මෙවර පාරිසරික දේශපාලන සටහනට තරමක් දුරට හෝ පරිසරවේදී අදහස් කීපයක් රැගෙන එන්නට සිතුවෙමි. ඒ අවශ්‍යතා කීපයක් නිසා ය. ප‍්‍රධාන හේතුව වන්නේ සොබාදහමේ කෘෂිකර්මය, පරිසර සංරක්ෂණය, ප‍්‍රතිචක‍්‍රීකරණය ආදී පරිසරවාදී ප‍්‍රවේශයන් බොහෝ අවස්ථාවන් වලදී පාරිසරික ගැටළු වලට පිළිතුරු ලෙස අතීතය කරා නැවත යාමක් හා කළමණාකරණවාදී පිළිතුරු ගොණු කිරීමක් සිදු කරන බැවින් එවායින් පාරිසරික දේශපාලනික ප‍්‍රවේශයන් වෙන් කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාවයයි.

පස, පාංශූ ජීවින්, මතුපිට ජීවීන්, ගහ කොළ ආදියෙන් සමන්විත පරිසරය විනාශ මුඛයෙන් ගලවාගෙන මනුෂ්‍ය පැවැත්මට හිතකර පාරිසරික හා සමාජීය තත්ත්වයන් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවී වැඩකරන කි‍්‍රයාකාරීත්වයන්, අපි මූලික ප‍්‍රවර්ග දෙකකට බෙදා වෙන්කර ගනිමු. හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉන් එක කොටසක් ස්වාභාවධර්ම වාදය ලෙසත්, අනෙක් කොටස පරිසරවාදය ලෙසත් හඳුන්වමු. මෙම ප‍්‍රවේශයන් දෙකේ පවත්නා මූලධාර්මික වෙනස්කම් හඳුනාගැනීමට, මේවා කෙටියෙන් නිර්වචනය කිරීම ප‍්‍රමාණවත් වේ යැයි සිතමි. ඇන්ඩෲ ඩොබ්සන් ගේ ‘හරිත දේශපාලන චින්තනය’ නම් කෘතියේ පෙන්වා දෙන පරිදි එම නිර්වචන මෙපරිදි ය. 

ස්වාභාවධර්මවාදය -
                         වර්තමාන පරිභෝජනයේ හා නිෂ්පාදනයේ රටාවන් සහ වටිනාකම් වල මූලධාර්මික වෙනසක් සිදු නොවී පාරිසරික ගැටළු විසඳිය හැකිය යන විශ්වාසය උඩ ඒවා සඳහා කළමණාකරණමය ප‍්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටීම සහ  තර්ක කිරීමයි.

පරිසරවාදය -
            පරිසරවාදය දරන ස්ථාවරය වන්නේ වඩාත් තිරසාර හා සංතෘප්තකර පැවැත්මක් සඳහා, මානුෂීය - නොවන ස්වාභාවික ලෝකයට අප දක්වන සම්බන්ධය හා අපගේ සමාජීය හා දේශපාලන ජීවිතයේ මාදිලීන් වල රැඩිකල් විපර්යාසයක් ඉල්ලා සිටින බවයි. 

‘ගෝලීය උණුසුම’ ලෝකයේ විසඳිය යුතු ප‍්‍රමුඛ ගැටළු අතර හත්වන හෝ අටවන ස්ථානයේ පවතින ගැටළුවයි. ඒ සඳහා, එම ගැටළුව ඇති කිරීමට උපරිම අයුරින් වගකිව යුතු රාජ්‍යයන් යෝජනා කරන පිළිතුරු කීපයකි. එකක් ප‍්‍රතිචකී‍්‍රකරණය යි. අනෙක තෝරාගත් පහසු ප‍්‍රදේශවල වන වගාවයි. කර්මාන්ත ශාලා වලින් පිටවන තාපය අවම කිරීමේ තාක්ෂණික උපක‍්‍රම දියුණු කිරීම තවත් එක පිළිතුරකි. මේ පිළිතුරු වල ඇති ගැටළුව කුමක් ද? එනම් මේවා පවතින නිෂ්පාදන  මාදිලියත්, පරිභෝජන රටාවත් අවසාන අර්ථයේ දී ඒවා මගින් සකස් කර ඇති මනුෂ්‍ය ජීවිතයත් එලෙසම තබා ගනිමින්, යම් සංතුලනයකට පැමිණීමට උත්සාහ කිරීමයි. ලාභ ඉපයීමේ ක‍්‍රමවේදයත්, පාරිභෝගික භාණ්ඩ නිපදවීමේ මාදිලියත්, එලෙසම පවත්වා ගැනීමෙන් ගෝලීය උණුසුම පිළිබඳ ගැටළුවට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ තව තවත් හොඳින් පරිසරය සුරකිනවාය යන මායාවේ පවා ගිලෙමින් පාරිභෝජන අවස්ථාවන් වර්ධනය කරගැනීම පමණි. එය ගෝලීය උණුසුමේ මිනිස් හේතුව වු කාර්මික නිෂ්පාදන ක‍්‍රමය තවදුරටත් පුළුල් කර ගැනීමකි. 

මේ පිළිබඳව පරිසර දේශපාලන චින්තකයෙකු වන ‘පොරිට්’ (Porritt,J) බොහෝ කරුණු සාකච්ඡා කර ඇත. ඔහු තමන්ගේ Capitalism as if the World Matters (2005)  කෘතියේදී මෙලෙස සඳහන් කරයි.

‘‘පරිභෝජනවාදයේ වර්තමාන මට්ටම් සමග ‘සීමාවිරහිත ප‍්‍රතිචකී‍්‍රකරණය’ (Climitless recycling) එකිනෙක ඒකාබද්ධ කිරීම යන ප‍්‍රබන්ධය, වඩාත් සමීප වන්නේ පරිසර විද්‍යාත්මක දැක්මකට වඩා තාක්ෂණවේදී  දැක්මකට ය. ප‍්‍රතිචකී‍්‍රකරණය, එය ඒ සඳහාම ස්වාභාවික සම්පත් හා මූලාශ‍්‍ර භාවිතා කරයි, තාප දූෂණය ඇති කරයි, බලශක්ති භාවිතය ව්‍යාප්ත කරයි. එහි ගැඹුරු අර්ථයෙන්ම ගත්තොත් එය අනෙක් සියළු ඒවා මෙන්ම කර්මාන්තමය කි‍්‍රයාවකි. ප‍්‍රතිචකී‍්‍රකරණය ප‍්‍රයෝජනවත් මෙන්ම අත්‍යාවශ්‍යයි; නමුත් එය කුමන හෝ අති මූලික ගැටළුවකට පිළිතුරු සපයාවි යැයි සිතීම මුලාවකි.’’   

පොරිට් සඳහන් කරන අන්දමට ප‍්‍රතිචක‍්‍රීකරණය කළමනාකරණවාදී ප‍්‍රවේශයකි. අපි මුලින්ම සඳහන් කළ අතීතය කරා නැවත යාම මෙම කළමනාකරණවාදී ප‍්‍රවේශය මගින්ම වුව පැහැදිලි කරගත හැක. අපි ඒ සඳහා පවතින දේශපාලන දෘෂ්ටිවාදය පිළිබඳව කෙටි සාකච්ජාවකට අවතීර්ණ වෙමු.

පවතින ආණ්ඩුව කොළ ද, නිල් ද, රතු ද යන්න මෙතැන දී අපට අදාල වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ප‍්‍රධානතම මෙහෙයුම් දෘෂ්ටිවාදය පිළිබඳව පමණක් අවධානය යොමු කරයි. එනම් එය දේශීයත්වය අගයන, විදෙස් බටහිර චින්තනයට එරෙහි දේශීය  ජාතිකවාදයකි. මේ අනුව මාතෘ භූමිය නොරටුන්ට විකුණන අනුකරණවාදී බටහිර ගැති කි‍්‍රයාකළාපයන්ට කිසිදු ඉඩක් නැත. බළධාරීන් මෙන්ම නිලධාරීන් දේශීය ඥාණය මත පදනම් වූ සංවර්ධනයක් ගැන නිතර මතුරන්නේ එබැවිනි. ජනතාව ද මෙම දෘෂ්ටිවාදී මෙහෙයුමට පූර්ණ අනුග‍්‍රහය දී ඇති බව පෙනෙන්නේ, පැවැත් වූ සෑම මැතිවරණයකින්ම ඔවුන් ලැබූ ජයග‍්‍රහණ දෙස බැලීමෙනි. මේ තුළ දේශීය ඥාණය, පාරම්පරික දැනුම අපේ ඉතිහාසය හෝද හෝදා මඬේ දමන මාතෘකා බවට පත් කරගෙන නැවතත් අපි අපට උරුම ව තිබූ අතීත ශි‍්‍ර විභූතිය කරා යා යුතු බව අවධාරණය කරයි. පාලකයන්ගේ අපරිමිත උත්සාහය ඒ වෙනුවෙන්ම ය. එය පරිසර ආරක්ෂණවාදී සොබාදහම සමග බැඳුනු අල්පේච්ච ජීවන ක‍්‍රමයක් බව පෙන්වා දෙයි. මේ සඳහා බුදු දහම මෙන්ම අනෙකුත් සියළු ආගම් හැකි උපරිම ව යොදාගනු ලබන්නේ ය. 

ආණ්ඩුව කරන  ඕනෑම කටයුත්තක් මාතෘභූමියේ චිරස්ථායි පැවැත්ම සඳහා වන නිසා,  මහජනතාව ඒ  ඕනෑම එකක් සෙනෙහසින් යුතුව වැළැඳ ගත යුතුය. මතු දැක්වෙන්නේ එලෙස වැළඳගත යුතු ආණ්ඩුවේ කි‍්‍රයාවකි. සති අන්ත ප‍්‍රධාන පුවත්පතක මෙම ප‍්‍රවෘත්තිය පළ විය. ඒ සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත් භූමියෙන් කොටසක් කෙසෙල් වගාව සඳහා විදෙස් සමාගමකට ලබා දුන් බවයි. එම වාර්තාව අනුව ඩෝල් නැමති ඇමරිකානු සමාගමට අක්කර 11,600 ක් ලබා දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයත්, ශි‍්‍ර ලංකා යුද්ධ හමුදාවත් ඒකාබද්ධවය.  මේ පිළිබඳව අදහස් දක්වා තිබුණු පරිසර සංවිධාන වලට අනුව මේ වන විටත් වනෝද්‍යානයේ ඝන කැළෑ අක්කර 5,000 ක් පමණ හෙළි පෙහෙළි කර ඇති අතර, ඒ සිදුකර ඇත්තේ සත්ත්ව හා ශාක සංරක්ෂණ නීතිවලට පටහැනිව ය. එමෙන්ම ඩෝල් සමාගමට ලබාදී ඇති බිම් කොටස පාරම්පරික අලි සංක‍්‍රමණ පථයක් වීම තවත් ගැටළු රැසක් මතු කරයි. එකක් අළුත් ඊනියා අලි-මිනිස් ගැටුමක් වර්ධනය වීමයි. අනෙක දැනට ඉතිරී වී තිබෙන අලි සම්පත තව දුරටත් හීන වී යාමයි. 

මාතෘ භූමි ආරක්ෂණයේ සුවිශේෂී භූමිකාවක් රඟන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ම මේ ආකාරයේ දේශය ශක්තිමත් කරන ව්‍යාපෘති වලට අත තැබීම නිසා, ඒවාට ජනතාව කිසිසේත්ම එරෙහි නොවිය යුතුය. ජාතිකවාදී මන්තරය මතුරාගෙන ආවේශ වී හෝ පරළ වී සැනසීම අත්පත් කරගත හැකිය. මෙවැනි කි‍්‍රයාදාමයන්ගෙන් අප වටහාගත යුත්තේ කුමක්ද ? එනම් අතීතය කරා නැවත යාමේ දෘෂ්ටිවාදය විසින්, වත්මන් ලිබරල් - ධනේෂ්වර ආර්ථික උපාය-උපායක‍්‍රම සඟවා තබා ගන්නා බවයි. එනම් එම දෘෂ්ටිවාදය ජනතාවගේ අදහස් කළමනාකරණය කිරීමේ යෙදී සිටින බවයි. 

මේ නිසාම අද දවසේ සොබාදහමේ කෘෂිකර්මය වැනි මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කරන විට, ‘‘පාරම්පරික දේශීය ඥාණය’’ උත්කර්ෂයට නැංවීමට ඉහළම ඉඩ කඩක් විවර වී ඇත. අප එම උගුලේ හසු නොවිය යුතුය. ඒවාට ඉඩ ලබාදී ඇත්තේ ඒවා පොදු ජනයා අතර ව්‍යාප්ත කිරීමට නොව, ධනේෂ්වර මාදිලියේ කි‍්‍රයාකාරකම් වලට ආවරණයක් ලබා ගැනීමට ය. අප පාරම්පරික ඥාණය වැඩි දියුණු කොට භාවිතයට නොගත යුතුය වැනි යමක් මින් අදහස් නොවේ. ඊට වඩා මෙම දෘෂ්ටිවාදි මෙහෙයුම අවබෝධ කරගත යුතුය යන්න මෙතනදී අවධාරණය කරමු. 

අනෙක් අතට ගෝලීයව මේ මොහොතේ පවතින ප‍්‍රමුඛතම මිනිස් අර්බුදයක් වන ආහාර හිඟය සඳහා ලෝක ධනේෂ්වරයටම විසඳුමක් නොමැති තැන, ලංකාවේදී වගාවට උවමනා කොන්දේසි ස්වාභාවිකවම සැපිරී තිබෙන තත්ත්වයක් යටතේදී ඒ සඳහා ජනතාව යොමු වී තම ආහාර අවශ්‍යතා සපුරාගන්නේ නම්, එය ධනේෂ්වර පාලකයන්ගේ පැවැත්මටත් ඔවුන්ගේ ධනේෂ්වර කි‍්‍රයාකාරකම්වලටත් විශාල උපකාරයක් වන්නේ ය. එමගින් ධනේෂ්වර සැලසුම් විරෝධයකින් තොරව ක‍්‍රියාත්මක කළ හැකිය.මෙරට පොදු ජනයාට අබමල් රේණුවක යහපතක් සිදු නොවන නොරටුන්ගේ ලාභාපේක්ෂාවන් ඉටු කරන අධිවේගී මාර්ග ඉදි කිරීම වැනි ඒවා මේ අනුව දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇත. මේ නිසා සොබාදහමේ කෘෂිකර්මය දේශපාලනික අර්ථයෙන් වටහා නොගන්නේ නම් ඉන් අත්වන ප‍්‍රතිඵලයක් නැත.

අපි නැවතත් කෙසෙල් වගාව බාරගත් ඇමරිකානු ඩෝල් සමාගම වෙත හැරෙමු. මෙම සමාගම පිළිබඳව ස්වීඩන් ජාතික චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු වන ‘ෆෙඞ්රික් ගෙයටන්’ විසින් 2009 වසරේ දී BANANAS නමින් වාර්තා චිත‍්‍රපටියක් නිෂ්පාදනය කළේ ය. චිත‍්‍රපටයට පාදක වූයේ සමාගම විසින් නිකරගුවාවේ කරගෙන ගිය කෙසෙල් වගාවක සේවකයින් පිරිසක් එහිදී භාවිතා කළ DBCP නම් පළිබෝධනාශකය නිසා තමන්ට වූ හානිය පිළිබඳව සමාගමට එරෙහිව පැවරූ නඩුවකි. චිත‍්‍රපටය පිළිබඳ සමාගම අතිශයින් කළබලයට පත් විය. සමාගම විසින් චිත‍්‍රපට නිෂ්පාදකවරයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබිණි. සමාගමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඇමරිකාව තුළ මෙම චිත‍්‍රපටය තහනම් කරවා ගැනීමයි. නමුත් ඩෝල් සමාගම මෙම නඩුවෙන් පරාජයට පත් විය. චිත‍්‍රපට නිෂ්පාදකවරයාට නඩු ගාස්තු සහ නීතිඥ ගාස්තු ලෙස ඩොලර් දෙලක්ෂයක් ගෙවන ලෙස ලොස් ඇන්ජලීස් උසාවිය සමාගමට නියම කළේ ය. (මෙම විස්තරය ඇමරිකාවේ ප‍්‍රසිද්ධ සඟරාවක් වන, The National Law Review හි 2010 නොවැම්බර් කලාපයක පළ විය)

අප, මිල කළ නොහැකි රක්ෂිතයක අක්කර 11,600 ක් පූජා කර ඇත්තේ මෙවැනි අපකීර්තිමත්  ඉතිහාසයක් ඇති සමාගමකට ය. මේ මගින් දේශීය ඥාණය හෝ පාරම්පරික ඥාණයට අත්වන සෙතක් නැත. ඒ වෙනුවට ගෙදර දොරේ තවමත් අතරින් පතර හෝ වැවෙන කෙසෙල් පැළය පවා අතුරුදන් වීමේ අනතුරකට නිරාවරණය වී ඇත. පාරිසරික කෘෂිකර්මයට අළුත් දේශපාලන දැක්මක අවශ්‍යතාවය මෙමගින් අවධාරණය වන්නේ ය. අනෙක් අතට ආසනික් ගැන පැන නැගුණු හාහෝව පිළිබඳව අප පසුගිය නියරේ තැබූ සටහන නැවත නැවත කියවන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු. ඒ සමගම නලින් ද සිල්වා විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියන ‘දැක්ම’ කොළමත් නිතර කියවමින් ඒ පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියක් ඇතිකරගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එවිට නලින් ද සිල්වාගේ මැදිහත් වීම සේවය කරන්නේ කාට ද යනු ඔබට වටහාගත හැකි වනු ඇත. එමෙන්ම දේශීය මන්තරය විසින් විදේශීය ධනේෂ්වර මැදිහත්වීම් ආවරණය කරන අයුරුද අනාවරණය වනු ඇත.


ප්‍රදීප් ජයරත්න
'නියර' පුවත්පතේ 2011 ජූලි - අගෝස්තු කලාපයේ පළවූ ලිපියකි

Thursday, November 17, 2011

ආසනික් තිබුණත් නැතත්.....

සුපර් ස්ටාර් ආසනික් සහ නාථ දෙවියෝ .....

ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප‍්‍රිය මාතෘකාවක් වී  ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් කළ කිහිප දෙනා අතරින් කෙනෙකි. "සිංහල බෞද්ධයින්"රටේ ප‍්‍රමුඛතම ජනවර්ගය බව ප‍්‍රකාශ කරන ඔහු ඉතිරි ජනයා සිංහල-බෞද්ධ සංරචකයේ උප කුලක ලෙස සලකයි. ඔහු "බටහිර විද්‍යාව ප‍්‍රමුඛ බටහිර චින්තනයට" මුළුමනින්ම පාහේ විරුද්ධ ය. සිංහල-බෞද්ධ ජන විඥාණයෙන් මතු වන ජාතික චින්තනය ඇසුරින් ඒ තුළින්ම නව දැනුම, ප‍්‍රවාද බිහිකර ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වන්නේ ය. ඒ අනුව බෞද්ධ ජන මනස අරක්ගත් දෙවිවරු පිළිබඳ විශ්වාසයත්, අධ්‍යාත්මික දියුණුව මගින් දැනුම වර්ධනය කරගැනීමත් ඔහුගේ මූලික පිළිගැනීමකි. එම අදහස් පද්ධතියට අනුව සිංහල බෞද්ධ සමයේ එන දෙවිවරු සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් වෙති. අනෙක් දෙවිවරු මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වන්නේ ය.

රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගයේ හේතුව ආසනික් ශරීරගත වීම බව මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ට මුලින්ම දැනුම් දී ඇත්තේ එම පර්යේෂණ කණ්ඩායමට අයත් නොවන බාහිර පුද්ගලයෙකු විසිනි.  හරියටම කිව්වොත් බාහිර තැනැත්තියක විසිනි. ඇය රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිලාභිනියකි. නමුත් මේ වන විට ඇයගේ ජීවන වෘත්තිය වී තිබෙන්නේ නාඩි බලා ලෙඩ, රෝග නිර්ණය කිරීමත්, ඒ අනුවම ප‍්‍රතිකාර කිරීමත් ය . ඇයට එම හැකියාව ලබා දී ඇත්තේ නාථ දෙවියන් විසිනි. ඒ අනුව ඇය නාථ දෙවියන් සමග සන්නිවේදනයේ යෙදෙන්නී ය. ඇය විසින් මුල් වරට, රජරට ජලයේත්, පොළොවේත්, භෝග වගාවන්හිත්, අනෙකුත් ගහ කොළ වලත්, මිනිස් ශරීරයේත් ආසනික් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායමට අනාවරණය කර ඇත. එමෙන්ම වකුගඩු රෝගයේ හේතුව වන්නේ ද, එයම බව ඇය පවසා ඇත. මෙම දැනුම ඇයට ලබා දී ඇත්තේ, ඇය පවසන පරිදි නාථ දෙවියන් විසිනි.

‘සිංහල-බෞද්ධ’ ජන විඥාණය පෙරටු කරගත් ජාතික චින්තන දැනුම් පද්ධතියට අනුව, නාථ දෙවියන්ගේ මෙම අනාවරණය කිරීම කිසිදු අයුරකින් සැක කල නොහැක. ඒ සත්‍යක්ම ය. පර්යේෂණ කණ්ඩායම එය එලෙසම විශ්වාස කරන්නේ වුවත්, තවමත් බටහිර විද්‍යාවේ සහ බටහිර චින්තනයේ ආධිපත්‍යයට නතුවී ඊට ගැතිවී සිටින ලාංකිකයාට, මෙම ආසනික් පිළිබ`ද අදහස බටහිර විද්‍යාවේ පර්යේෂණ විධ ක‍්‍රමයන්ට අනුව පර්යේෂණයේ යෙදී සනාථ කල යුතුය. ඔවුන් පවසන්නේ, ඔවුන් එම පර්යේෂණයන්හි නිරත වූ බවයි. ප‍්‍රථිඵලය වී ඇත්තේ දෙවියන්ගේ නිගමනය නැවත සනාථ වීම පමණි. ඒ අනුව ඔවුන් එය ජනමාධ්‍ය තුළ කථා බහට රැගෙන ආවේය.

ඉහතදී සඳහන් කිරීමට නොහැකී වූ වැදගත් කාරණයක් ඇත. එනම් නාථ දෙවියන් මෙම දැනුම ලබා දෙන්නේ එක් කොන්දේසියක් ඉටු කිරීමට බැඳී සිටින්නේ නම් පමණි. එනම් තමන්ගේ ජීවිතය බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමට කැප කරන්නේ නම් ය. පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා පේවී, කැපවී සිටන බව පවසති.

නාථ දෙවියන්ට අභියෝගයක් ......

කෙසේ වෙතත් ජනමාධ්‍ය ට ආසනික් ආශික් එකක් බවට පත් විය. සමහර මාධ්‍ය එම අදහස බදා වැළඳ ගැනීමටත්, සමහර ඒවා ප‍්‍රතික්ෂේප කිරීමටත්, පෙළ ගැසුණි. රේගුවෙන් කෘමිනාශක තොගයක් මුදා හැරීම ප‍්‍රතික්ෂේප කර රඳවා තබා ගැණුනි. පසුව මේවා කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණයක්  කලේය. එම පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ කෘමිනාශක වර්ග දෙකක පමණක් ඉතා සුළු වශයෙන් ආසනික් පැවතුනත් ඉතිරි සියල්ලේ ආසනික් නොපැවතුණු බවය. මේ සමග නලින් ද සිල්වා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ අදහස අභියෝගයට ලක් විය. ඒ සමගම වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් සහල් සාම්පල් ලබාගෙන කළ පර්යේෂණයෙන් අනාවරණය වූයේ එම සහල් වල ආසනික් අඩංගු නොවන බවය.  එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේම රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ජනිතා ලියනගේ විසින් කලක් තිස්සේ කළ පර්යේෂණ වලින් නලින් ද සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ නිගමනය සාවද්‍ය බව අණාවරණය විය. මේ සෑම පර්යේෂණයක් සම්බන්ධ තොරතුරු අඩු වැඩි වශයෙන් පුවත්පත් හෝ රූපවාහිනී නාලිකා ආදී ඒ ඒ ජනමාධ්‍ය ඒකක තුළ ප‍්‍රකාශයට පත්වෙමින් පවතී. එමෙන්ම ඒවා රටේ ප‍්‍රතිපත්ති තීරණය කිරීමේදී වැදගත් වන ආයතනයන් තුළ ද විශේෂ කථාබහකට ලක් වූවේය. එපමනක් ද නොව ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්‍ෂ, ආසනික් තම ප‍්‍රමුඛ සටන් පාඨයක් කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටී. ජනිපෙ නායක විමල් වීරවංශ මහතා මීට ටික කලකට ඉහතදී ප‍්‍රකාශ කලේ පාන් පිටි ත‍්‍රස්තවාදයක් ගැන ය. පාන් පිටි ත‍්‍රස්තවාදයට එරෙහිව හාල් (පිටි) ඉදිරියට රැගෙන ආ යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. දැන් හාල් වල ආසනික් පවතී නම්, එහුගේ එම උත්සාහය ව්‍යවර්ථ වීම අනිවාර්යයකි. ඒ නිසාමදෝ එම පක්‍ෂය පොලූ, මුගුරු රැගෙන සටනට අවතීර්ණ වී සිටිති.

කෙසේ වෙතත් මේ ආකාරයට ආසනික් තිබීමට එරෙහි පර්යේෂණ මගින් කරළිය අත්පත් කරගැනීමත් සමග නලින් ද සිල්වා ප‍්‍රකාශ කළේ, තම කණ්ඩායමේ පර්යේෂණ විධි ක‍්‍රමය බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස ඉදිරියේදී එළිදක්වන බවයි. ඒ අනුව ආසනික් විවාදය තව තවත් ඉදිරියට ඇදී යනු ඇත.

නියරේ කතිකාව

ඒ මේ සියළු සාකච්ජා අතරතුර ‘නියරේ’ අදහස කුමක්දැයි අප ප‍්‍රකාශ කළ යුතුව ඇත. එය මේ පරිදිය.

පත්තර කීපයක් හා රූපවාහිනී නාලිකා කීපයක් ආසනික් පටලවා ගෙන ඇත්තේ අලෙවි ප‍්‍රශ්නයක් ලෙස ය. ඔවුන් ට ආසනික් තිබීමේ හෝ නොතිබීමේ අදාලත්වයක් නැත. ”හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන සටන් පාඨය ඔවුන්ගේ පරම ආදර්ශ පාඨයයි. අලෙවිය වැඩි වන්නේ නම්  ඕනෑම දෙයක් කරන එම මාධ්‍ය ආයතන සහ බහු ජාතික කෘෂි රසායන සමාගම් අතර වෙළඳපොල තර්කණයේ අර්ථයෙන් කිසිදු වෙනසක් නැත.

යුගයේ විලාසිතාව

විෂ ශරීරගත කර ගැනීම මේ යුගයේ මිනිස් ශරීරය පිනවීමේ ප‍්‍රධාන ආකෘතිය වී ඇත. ඒ සමඟම සත්‍යය සෙවීම වෙනුවට, යථාර්ථය වියවුලක් බවට පත් කර ගැනීම මානසික තෘප්තිය ලැබීමේ මාර්ගය බවට  පත් වී තිබේ. ජනමාධ්‍ය මේ දෙකටම නොමඳව සහාය දක්වමින් සිටී.


නලින් ද සිල්වා විසින් නාථ දෙවියන් සිංහල-බෞද්ධ ජන විඥාණය එකිනෙක සම්බන්ධ කිරීම මගින් සිංහල බෞද්ධයාට තමන්ගේ විඥාණයේ හා ‘‘තරම’’ බලා ගැනීමට කැඩපතක් නිර්මාණය කර ඇත. නමුත් කිසිවෙක් තමන්ට නොපෙනෙනා දේ කැඩපතින් බලා ගැනීමට උත්සුක වන බවක් පෙනෙන්නට නැත.

ආසනික් ප‍්‍රශ්නාර්ථිකය

අනෙක් අතට නාථ දෙවියන්ගේ නිගමනය බොරු කරමින් සහල් වල හා කෘෂි රසායන වල ආසනික් බිඳුවක් වත් අඩංගු නොවන බව තහවුරු වුවහොත් අපි කෘමි නාශක හා වල් නාශක සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමුද? අප හමුවේ ඇති බරපතල ප‍්‍රශ්නය මෙය යැයි සිතමු. නලින් ද සිල්වා පත්තු කළ වදුලේ ආසනික් නොමැති බව නිච්චියටම තහවුරු වුව හොත් කෘෂි රසායන භාවිතය කැප ද? ආසනික් ගැටළුවේ ප‍්‍රශ්නාර්ථිකය මෙතන ඇත.

නලින් ද සිල්වා මතුකරන සිංහල-බෞද්ධ ජන වර්ගය හෝ වෙනත්  ඕනෑම ජන වර්ගයක් හෝ එකිනෙක සංසන්දනය කරමින් එකක් අනෙකට වඩා ඉහළ හෝ පහළ හෙළීමට අප ක‍්‍රියා කරන්නේ නැත. නලින් ද සිල්වා පවසන පරිදි නාථ දෙවියන් යනු දුටුගැමුණු රජතුමා වන්නේය. එය ඒ ආකාරයට අර්ථ කථනය කිරීමේ අවසාන උවමනාව හා ගොඩනැගීමට උත්සාහ කරන කතාන්දරය පැහැදිලිය. එනම් බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමේත්, ලංකාව ආරක්‍ෂා කිරීමේත් දිව්‍යමය ආත්මය දුටුගැමුණුට සම්බන්ධ කර ඊනියා සිංහ-බෞද්ධ ඉතිහාස කථාන්තරය වර්තමානය තුල සමාජ දේශපාලන බලයක් ලෙස නැවත නැවතත් තහවුරු කිරීම ය.

(අප එම විනාශකාරී දේශපාලන එළඹුමට මෙතනදී ගැඹුරින් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එය වෙනත් තැනක සාකච්ජා කළ යුතු එකකැයි සිතමු. නමුත් ‘ආසනික්‘ කෙතරම් ‘විෂ’ ද , එතරම්ම මෙම දේශපාලන මෙහෙයුමත් මනුෂ්‍ය සමාජයට ‘විෂ’ බව පමණක් සටහන් කර තබමු.)

බහුජාතික ආසනික්

එමෙන් ම, කෘෂි රසායන වල ආසනික් නැති බව පර්යේෂණ ඇසුරින් තහවුරු කිරීම නිසා ගොවියා සූරාකන බහු ජාතික සමාගම් වල ඉතිහාස කථාව සුජාතකරණය වන්නේ ය. ඔවුන්ගේ එම පර්යේෂණ, කෘෂි රසායන වලින් පොළොවට සිදුවුන හානියත්, ජෛව විවිධත්වයට සිදුවන හානියත්, පොළොව, ගහ කොළ, කුඩා ජීවීන් හා මහා ජීවීන් ඇතුළු මිනිසා ව්‍යාධියට පත් වී විනාශ වන ආකාරයත් අනාවරණය කරන්නේ නැත. මෙහි ඇති අරුමය එයයි. මේ නිසා එම පර්යේෂණයන් ද මිනිස් සමාජයට ආසනික් තරමටම විෂ වන්නේ ය.

ප‍්‍රාග්ධනයේ බැම්මෙන් බැඳ ගොවියා සහ පාරිභෝගිකයා සූරාකන බහුජාතික සමාගම් වල ක‍්‍රියාකාරීත්වයත්, ජාතිවාදී කතිකාව තව තවත් ශක්තිමත් කරමින්  ජන සමාජයේ ඒකමිතිය වඩ වඩාත් බිඳ වට්ටමින් විනාශ කිරීමත් යන දෙකම අප හමුවේ ඇති අභියෝග වන්නේ ය. අප මේ දෙකටම එරෙහිව සිහිය එළවාගෙන මුහුණ දිය යුතුය. එමෙන්ම අප නවීන පර්යේෂණයන්ට හෝ විද්‍යාවට තෙරුමක් නැතිව විරුද්ධ වන්නේ නැත. අපට ඇති ගැටළුව ඒවා මිනිසා පීඩාවට පත් කිරීමට එරෙහිව හා මනුෂ්‍ය සමාජයේ යහපත වෙනුවෙන් යොදා නොගැනීම ගැනය. සොබා දහම සවපත් කිරීමට නව පර්යේෂණ අවශ්‍ය බව අප විශ්වාස කරමු.

නිගමනය

මේ නිසා අපට අවසාන වශයෙන් පැවැසීමට ඇත්තේ කුමක්ද? එනම් ආසනික් තිබුණත් නැතත්, මෙම විනාශකාරී කෘෂි රසායනයන් ට, ඒවා සම්බන්ධ බහු ජාතික වෙළඳ ජාලයට අපගේ පැවැති විරෝධයේ කිසිදු වෙනසක්  වන්නේ නැති බවයි.

ප්‍රදීප් ජයරත්න

මෙම ලිපිය ''නියර'' පුවත්පතේ මැයි-ජූනි කලාපයේ පලවූ ලිපියකි









Wednesday, November 9, 2011

තරහ පිරුණු මිතුරන්ට

එකතැන කරකැවෙන සිතුවිලි....
දියසුළි.
එතැනම ගැඹුරට රැගෙන යන දියරැළි....
නොමනිමි
තම තමන් තුළම වූ පටලැලි....
කෙහෙරැළි
සරකරනවා ඇතුලේම අඳුරැති....
පතුල නැති

ගැලවෙන්නට දඟලති
තව තවත් පැටලෙති
සුළි කරකැවෙති
උඩ යති යට යති
නොපෙනීම යති
යළි යළිත් මතුවෙති....

කරකැවෙන සුළිය
ඕජස් ගලන සිතුවිලි සූපය
දවන හද මඬල....
නිවුනු සිත් තුළ
දල්වයි
පහන් සංවේගය....

ගැලවීමට දැඟලීමමය ඇලවීම
අත්හල හැකිද "ගැලවීමට දැඟලීම"
එකෙණෙහිම ස‍න්සුන් 
නිසසලයි හද මල්
ගැඹුරු දිය මතුපිටින්
හමා යයි සීතල පවන්.
නිවන්.......

ප්‍රදීප් ජයරත්න



Tuesday, November 1, 2011

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!


පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.

අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ වෝල් ස්ටී‍්‍රට්වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ?දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන පිබිදීම’ තමයි අපි.


අපි මොනවත් විනාශ කරන්නේ නෑ. මේ ක‍්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයො තමයි අපි. ඔබලට මතක නම් කාටුන් චිත‍්‍රපටවල එන කාටත් පුරුදු දර්ශන පෙල. හැල්මෙ දුවගෙන එන පූසා මහ පාතාලයක කඩ ඉමටත් ඇවිල්ලඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිත් නොමැති බව නොදැක්කා වගේ. ඒත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහළට වැටෙනවාඅන්න ඒ දෙයම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා අපේ Wall Street ඇත්තන්ට, ‘‘යාළුවාපහත බලන්න !’’.

2011 අපේ‍්‍රල් මැදචීන රජය කාල තීරණය ^Time travelනැත්නම් විකල්ප යථාර්ථය ^Alternate reality& අලළා ගෙතුනු කතා පුවත් රැගත් චිත‍්‍රපට,නවකතාරූපවාහිනි වැඩසටහන් සියල්ල තහනම් කළා. මේක චීනය පිළිබඳ සුබ ලකුණක්. මේ ජනතාව විකල්පයන් පිළිබඳව තවමත් සිහින දකිනවා. ඒ නිසාම මේ සිහින දැකීම තහනම් කරන්න සිදුවී තිබෙනවා. මෙහේදීඅපට තහනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ද කිව්වොත් මේ පාලන ක‍්‍රමය විසින් සිහින දැකීමට අප සතු හැකියාව පවා දැන් යටපත් කරල. මේ කාලයේ අප නිතර බලන චිත‍්‍රපට ගැන හිතන්න. ලෝක අවසානය ගැන පවා සිතින් මවාගැනීම ඉතා පහසුවෙලා තියෙනවා. ඔය උල්කාපාතයක් ඇවිත් ලෝකයේ සියලූ ජීවය විනාශ කර දමනව වගේ. ඒත් ධනවාදයේ අවසානයක් ගැන උපකල්පනය කරගන්න බැහැ.

එහෙනම්මොකද්ද අපි මෙතන ඉඳගෙන කරන්නේඒ ගැන කියන්න හොඳ හාස්‍යජනක කතාවක් තියෙනවා. මං කියන්නම් පැරණි කොමියුනිස්ට් කාලේ විහිළු කතාවක්. ඔන්නනැගෙනහිර ජර්මනියෙ ක‍්‍රියාධරයෙක්ව යවනව යම් කාර්යයක් සඳහා සයිබීරීයාවට ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩල කියවල බලනව කියලා. ඔහු කියනව ඔහුගේ මිත‍්‍රයන්ට ‘‘අපි රහස් සටහන් ක‍්‍රමයක් තියාගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල්පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්,ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම්ඒ තොරතුරු අසත්‍යයි.’’ ඔන්න මාසයකට පස්සේමිත‍්‍රයන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල්පාටින් ලියලා තියෙන්නෙ. ඒකේ කියනවා, ‘‘මම මෙහේ හොඳ අපූරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල්වල ඇති පදමට හොඳ කෑම තියෙනව. සිනමාහල්වල හොඳ බටහිර චිත‍්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොඳ සැප පහසුකම් සහිත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේ තමයි රතු තීන්ත.’’ ඔන්න ඔහොම තමයි අපි ජීවත්වෙන්නෙත්. අපට අවශ්‍ය හැම නිදහසක්ම අපට තියෙනව. අපට අහේනියකට තියෙන්නේ රතු තීන්ත විතරයි. අපේ නිදහසක් නොමැතිකම,කියාගන්න භාෂාවක් නොමැතිකම. නිදහස පිළිබඳ කතාකරන්න අපට උගන්වලා තියෙන ආකාරය - ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වගේනිදහස අනර්ථයක් බවට පත්කරනව. අන්න ඒ ගැන තමයි අපේ ක‍්‍රියාකාරීත්වය. ඔබ අපිට රතු තීන්ත සපයනව.

මෙතන අනතුරක් තියෙනවා. ඔබඔබත් එක්ක ආදරෙන් වෙලෙන්න හදන්න එපා. අපි මෙතන විනෝදයෙන් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා,සැණකෙළි කියන්නේ ලාභ විනෝදාස්වාදය. වඩා වැදගත් වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවිතයට ආපහු ගියාමහෙට දවසෙ සිදුවන දේ. එතැන මොනයම් හෝ වෙනසක් තියේවිද? ‘‘අපේ තරුණ අවධියේ දී.... ඒ දවස් මොනතරම් සුන්දර ද කියන්නා වාගේඔබ මේ දවස අනුස්මරණය කිරීම නොවෙයි මගේ උවමනාව. මතක තියාගන්න අපේ මූලික පණිවුඩය, ‘‘විකල්ප ගැන හිතන්න අපට අවසර තියනවා’’. යම් හෙයකින් මේ නීතිය බිඳෙනවා නම්එසේ අප වෙසෙන ලෝකය වඩාත්ම හොඳ ලෝකය නම් නොවේ. කොහොමටත්අප ඉදිරියේ දිගු ගමන් මගක් තියෙනවා. එහිදි සත්‍යවශයෙන්ම දුෂ්කර ප‍්‍රශ්න අපට අභිමුඛ වෙනවා. අපි දන්නවා අපට  ඕනෑ නැති දේ. නමුත්අපට  ඕනෙ මොනවාදධනවාදයේ තැන පිරවිය හැකි සමාජ සංවිධානය කුමක්දමොන වගේ නව නායකයින්ද අපට  ඕනෑ?.

යළි සිහියට ගන්නගැටලූව දූෂණවංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ මේ ක‍්‍රියා පිළිවෙත දිය කරල දාන්න දැනටමත් කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න. කැෆේන් ^caffeine&නොමැති කෝපි වගේමධ්‍යසාරය නැතිව බියර් දෙනවා වගේමේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේඔවුන් මේකත් කිසි හානියක් නොවන සදාචාරමය විරෝධයක් පමණක් බවට පත්කරන්න උත්සාහ දරයි. විශුද්ධිකරණය කරන ලද ක‍්‍රියාදාමයක්. නමුත් අපි අද මෙතන ඉන්නේ කොකාකෝලා බින් කෑන් ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින්පින් අතේ වැඩ වලට ඩොලර් කිහිපයක් දන් දෙමින්නැතිනම් ස්ටාර් බක්ස් කැපචීනෝ ^Starbucks Cappuccino කෝප්පයක් මිලදී ගත්තම ඉන් 1% ක මුදලක් තුන්වන ලෝකයේ සාගින්නට පත්වූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග වන නිසා එයින් හිත සනසා ගනිමින් ඉන්න පුළුවන් වන ලෝකයක් දැන් අපට හොඳටම ඇති වෙලා තියෙන නිසා. අපේ රැකියා ඒත් සමගම වධහිංසා පිටට දුන්නට පස්සේ,දැන් අපේ මංගල සේවා ඒජන්සි දැන් අපේ ආදර ජීවිතයත් පිටට දීලා තියෙනවා. දැන් අපිට පේනවාදිගු කාලෙක ඉඳලාඅපි අපේ දේශපාලනික සහභාගිකමත් පිටට දෙන්න ඉඩහැරලා තියෙනවා. දැන් අපිට ඒක ආපහු  ඕනෑ.

සමාජවාදය කියන්නේ1990 දී බිඳවැටුණ ක‍්‍රමය  නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුරවඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. අද චීනය තුලඔබේ ඔය ඇමරිකානු ධනවාදයට වඩා සුගම ධනවාදයක් අපට අත්දකින්න ලැබෙනවා. ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නැති. එහි තේරුමඔබ ධනවාදය විවේචනය කරද්දිඑමගින් ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධය යන නියමයට අහුවෙන්න ඉඩ තියන්න එපා. ධනවාදයයිප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ හැකියි.

අද අපි කළ හැකියි කියල දකින්නේ මොකද්දඅපි සරලව ජනමාධ්‍ය ඇසුරු කරල බලමු. එක අතකින් බලපුවහමදැන් තාක්ෂණයේ හා ලිංගිකත්වයේ තත්ත්වය බැලූවොත්  ඕනෑම දෙයක් සිද්ද කරන්න පුළුවන් වගෙයි. දැන් හඳට යන්න ඔබට පුළුවන්කම තියෙනවා. ජාන තාක්ෂණයේ පිහිටෙන් අමරණීය වෙන්න ඔබට පුළුවන්. සතුන් සමග ලිංගිකව හැසිරෙන්නත් පුළුවන්. අමතරව තව බොහෝ දේ. නමුත් බලන්න සමාජයීය හා ආර්ථික කේෂ්ත‍්‍ර දිහා. එහිදී,බොහෝවිට කිසිවක් කළ නොහැකි බවයි කියැවෙන්නේ. ඔබට අවශ්‍යයයි ධනවතුන් සඳහා වන බදු පරිමාව ඉතා සුළු අගයකින් ඉහළ දමන්න ඒත් ඔවුන් කියනවා. එය කිසිසේත්ම කළ නොහැකියි. එහෙම වුනොත් අපේ තරකාරිත්වය බිඳෙනවා. ඔබට අවශ්‍යයයි සෞඛ්‍යය අංශය සඳහා වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් යොදවන්න. එතකොට ඔවුන් කියනවාකොහොමටත් බැහැ. ඒ කියන්නේ මේක රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්කිරීම. ලෝකයේ මොකද්දෝ වැරුද්දක් තියෙනවා. නොමැරී ඉන්න පුළුවන් වුනත් සෞඛ්‍ය සේවා සඳහා පොඩි මුදලක් වැඩිකරන්න හැකියාව නැහැ. සමහරවිට අපි අපේ ප‍්‍රමුඛතා හරිහැටි පෙළගස්වගෙන නැහැ වගෙයි. අපට අවශ්‍ය නෑ වඩා උසස් ජීවන තත්ත්වයක්. අප  ඕනෑ වඩා හොඳ ජීවන තත්ත්වයක්. අප සමාජවාදියෝ නම්ඒ අපි ලෝකයේ පොදු සම්පත් රැකගැනීමට උනන්දු වන නිසා. සොබාදහමේ කාටත් පොදු අයිතිය සඳහා බුද්ධිමය දේපළ අයිතිය මගින් පෞද්ගලීකරණය කරන ලද පොදු සම්පත්. ජාන තාක්‍ෂණයට නතු කරගනු ලබන පොදු දේපොළ. මේ වෙනුවෙන්මේ සඳහාම පමණක්අප අරගල කළ යුතුයි.


සමාජවාදය නිත්‍ය ලෙසම අසාර්ථක වුනා. පොදු සම්පත පිළිබඳ ගැටලූව මෙන්න දැන් මතුවෙලා. ඔවුන් කියනවා ඔබටඅපි ඇමරිකානුවො නොවෙයි,මෙතන ඉන්නකොට. නමුත් තමන් ඇමරිකානුවන් බව කියා පාන ඔය ආරක්‍ෂකවාදීන්ටමූලධර්මවාදීන්ට මතක් කරල දෙන්න යමක් තියෙනවා. ක‍්‍රිස්තියානිය කියන්නේ මොකද්දඒ තමයි ශුද්ධාත්මයාණෝ. ශුද්ධාත්මයාණෝ කියන්නේ එකිනෙකා වෙත ඇති පේ‍්‍රමයේ බැඳීමෙන් සමානාත්මතාවයෙන් යුතුව හැසිරෙන හා එසේ කිරීම සඳහාම තම නිදහස හා වගකීම ඇත්තාවු විශ්වාසකයින්ගේ සංඝයක්. මේ අර්ථයෙන්,ශුද්ධාත්මයාණන් මේ දැන් අප අතර. එහෙම නම්අතන වෝල් ස්ටී‍්‍රට්’ එකේ ඉන්නේ බොරු දෙවිවරුන්ට වන්දනාමාන කරන මිත්‍යා දෘෂ්ඨිකයින් පිරිසක්. ඒ නිසාදැන් අපට අවශ්‍යව ඇත්තේ ඉවසීමයි. මට බියගෙන දෙන එකම කාරණයඅපි කිසියම් දවසක මේ වැඬේ දාලා ගෙදර යයිගිහින් ආපහු වසරකට සැරයක් මුණගැහිලාබියර් බොමින්අතීතාවර්ජනය කරමින් ‘‘ඒ දවස්වල  අපි මෙතැන කොච්චර හොඳ කාලයක් ගත කළාද?’’ කියමින් මේ අවස්ථාව ස්මරණය කරන්න යෙදෙයිද කියන එක. ඒ කාරණාව එසේ සිද්ධ නොවන බවට ඔබට පොරොන්දු කරගන්න. අපි දන්නවා ජනතාව බොහෝවිට ආශාකරන දේ ලබාගන්න ඇත්තටම උවමනාව නෑ. ඔබ ප‍්‍රාර්ථනා කරන දේ හැබෑවටම උවමනා කරන්න බිය වෙන්න එපා. ඔබට බොහොම ස්තූතියි.

2011/10/09 වන දින Occupy Wall Street උද්ඝෝෂණයේදී ස්ලෝවේනියානු දාර්ශනික ස්ලැවෝයි ජිජැක් උද්ඝෝෂකයින් අතරට පැමිණ කළ කතාවේ සිංහල පරිවර්තනය.

http://youtu.be/cylsD-MMEbM

උපුටාගැනීම 'රාවය' පුවත්පත 2011/10/30

Wednesday, October 5, 2011

කලබල, කරදර අතර හිරිහැර



(නිමිත්ත, මල්ලීගේ බිරිඳ වස බී ඇත.)


කුඩු හැලෙන්නට කීරි ගැහෙනවා
හදවත
පුපුරන්නට විදුලි කොටනවා
හිස මත
දෙවියන් ට නෑසුනත් මෙ’පුවත
දෙවියන් ව නැගෙනවා සිහියට


චප්ප කොට දැමියැකි
කේන්තිය
කා එක්කදැයි නොදන්නා
තරමට...
හැම තැනම විහිදිලා
ප‍්‍රමාදය
කිසිත් සිදුනොවන
තරමට...


තියුණු උල් ඇති වැහි බිඳු
මඳනල රැගෙන එන ගිණි දළු
බළල් නිය මෙන් නැගෙන සිතුවිලි
අපූරුයි; එකිනෙක පටලැවී
ගත පහුරුගානයුරු


වෑහෙනවා රුධිරය
පීනනවා හිමීට
කොහේදැයි නොදැන.




ප්‍රදීප් ජයරත්න.
2011/10/02

Monday, October 3, 2011

ස්ත‍්‍රියට ඇති අභියෝගය, සිතීමේ පිරිමි පරිකල්පනයෙන් ගැලවීමයි.

ප‍්‍රබල ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිණියක් වුනු පද්මිනී පල්ලියගුරු වරක් ප‍්‍රකාශ කළා, ''කාන්තාව" කියන වචනය භාවිතා නොකළ යුතුයි කියලා. "කාන්තාව'' කියන වචනයේ තියෙනවා පංතිමය ඇඟවීමක්. ඒක ඉහල මධ්‍යම පාංතික වචනයක්. මේක අපිට එදිනෙදා ජීවිතයේ අවස්ථාවක් විදිහට දුම්රියක් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමුවන පංතියේ දුම්රිය මැදිරිවල තිබෙන වැසිකිළි දොරටුවෙ ලියලා තියෙන්නෙ  "කාන්තාවන්ට පමණයි" කියලා. නමුත් තුන්වන පංතියෙ මැදිරිවල වැසිකිළි දොරටුවෙ ලියලා තියෙන්නෙ "ස්ත‍්‍රීන්ට පමණයි" කියලා. ඒක එහෙම වෙන්නෙ මේ වචනයේ තියෙන පංතිමය ඇඟවීම නිසා. අපි මේ මට්ටමේ ඉඳලම මේ ගැන සාකච්ජා කරන්න  ඕන. 

"ස්වාමි පුරුෂයා" කියන වචනයේ තේරුම ස්ත‍්‍රිය හිමි පුරුෂයා කියන එක. මේකෙ මුල් ස්වරූපය වෙන්නෙ, වහලා/වහල් හිමියා නැත්නම් වහලා/ ස්වාමියා අතර සම්බන්ධ ය. මෙතැනදීත් ස්ත‍්‍රිය "වහලා" ගේ තැන තමයි ස්ථාන ගත වෙන්නෙ. නමුත් අපි  භාෂාව ඇතුළෙ ගැලවෙන්න බැරි විදිහට හිරවෙලයි ඉන්නෙ. ඉතිං අපිට මේක ස්වාභාවිකයි. ප‍්‍රශ්න නොකර බාර ගන්නවා. කිසි ලෙසකින් සමාජමය ගොඩනැංවීමක් විදිහට තේරුම් ගන්නෙ නෑ. මේ නිසා ස්ත‍්‍රීන්ට එරෙහි  ප‍්‍රචන්ඩත්වයේ ගැඹුරු ව්‍යුහයන් (deep structures)  තේරුම් ගැනීම වැදගත්. 

සහකරුවා/සහකාරිය; මේ වචන අපිට නුහුරුයි. අපි හිතනවා අපිට දුරස්ථයි කියලා. නමුත් ස්ත‍්‍රිය ඇතුළු වෙලා ඉන්න පීඩක ව්‍යුහවලින් සැබෑ ලෙසම මිදීමට අවශ්‍ය නම් පවතින සම්ප‍්‍රදායට එරෙහි විය යුතුයි.  එවිට ඇයට ස්ථාන ගත විය හැකි තැන් ගොඩක් නෑ. වරක් චේ ගවේරා කිව්වා " විප්ලවවාදියෙකුට ඉන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ. එකක් අරගල භූමිය, අනෙක පොළව යට" කියලා. ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිණියක් කියන්නෙත් මේ අර්ථයම ඇති විප්ලවවාදී ක‍්‍රියාකාරිණියක්.

විමුක්තිය තියෙන්නෙ අරගලය තුළමයි. ඒක ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන්, නව නීති සම්පාදනය කිරීමෙන් හෝ මානව අයිතිවාසිකම් පිහිටුවීමෙන් ලැබෙන්නෙ නැහැ. මේක මොනතරම් බරපතලද කිව්වොත්, අපිට සමාජවාදය පිහිටුවන්න පුළුවන් වුවත්, එමඟින්ම ස්ත‍්‍රියට විමුක්තිය උදාවන්නේ නැහැ. මාක්ස්වාදයට අනුව, ශ‍්‍රමයට, ශ‍්‍රමිකයාට නැත්නම් කම්කරුවාට අරගලය තුළ විමුක්තිය උදාවන විට, ඒ සමඟම ධනපතියාටත් විමුක්තිය ලැබෙනවා. මොකද පීඩිතයා හා පීඩකයා කියන දෙදෙනාම මේ ක‍්‍රමය තුළ සිරකරුවන් නිසා. ඒ වගේම ස්ත‍්‍රී විමුක්තිය උදාවීම කියන එකේ තේරුම පිරිමියාටත් විමුක්තිය ලැබෙනවයි කියන එක. නමුත් විමුක්තිය උදාවනවාට සියළු දෙනාම නෛසර්ගිකවම වගේ විරුද්ධයි. බයයි. මේ සඳහා ෆාවුලෝ ෆෙයරි ගේ "පීඩිතයාගේ ශික්ෂණය" පොතත්, කාල් යුංගේ ගේ "නිදහසට ඇති බිය" පොතත් කියවීම වැදගත්. 

අපි තේරුම් ගත යුතුයි, වෙනස් කිරීමට අපහසුම දේ ‘‘මනුෂ්‍ය සබඳතා’’ කියන එක. ඒක ඉතාම සංකීර්ණයි. බොහෝ ස්ත‍්‍රී ව්‍යාපාර, පුරුෂ ව්‍යාපාර වල කෑලි. එක සීමාවකින් එහාට යන්නෙ නෑ. අභියෝගය වෙන්නෙ, ‘‘පිරිමි ලෝකයේ පරිකල්පනයෙන් බැහැරව’’ ස්ත‍්‍රිය ස්වායත්තව හිතන්නෙ’’ කොහොමද කියන එකයි.

පිරිමි ලෝකයේ සිතීමේ රාමුව, ස්ත‍්‍රී ශරීරය හා සම්බන්ධ ආකල්ප වලින් වටහාගන්න පුළුවන්. ඉස්ලාමීය සංස්කෘතියේ සිට බටහිර ලිබරල් සංස්කෘතිය දක්වා, ස්ත‍්‍රියගේ ශරීරය ආවරණය වීමේ හා නිරාවරණය විමේ ප‍්‍රමාණය, අදාල එක් එක් සමාජයන් තුළ ස්ත‍්‍රිය ගැන පිරිමි සිතීමේ රාමුවට සාපේක්ෂයි. බටහිර රටක ස්තී‍්‍ර ශරීරය වඩ වඩාත් නිරාවරණය වීම ඉවසනවා. ඒකට හේතුව, බටහිර පිරිමියා තම අනන්‍යතාවය පිහිටුවාගන්නෙ ස්ත‍්‍රිය මත බලයක් යෙදවීමෙන් නොවෙයි. ඒ වෙනුවට සිනමාව, පරිසරය ආදී විවිධ ක්‍ෂේත‍්‍ර තිබෙනවා. නමුත් තවමත් ආසියාතික පිරිමියා තම පැවැත්ම තහවුරු කරන්නෙ ස්ත‍්‍රිය මතින්. මෙතනදී ලංකාව තලේබාන්වරුන්ට වඩාත් සමීපයි. ලාංකීය පිරිමියා ස්ත‍්‍රී ශරීරයට ඉතාම තදින් බයයි. එය ඔහුව ඉතාම තදින් ත‍්‍රස්තයට පත් කරන දෙයයි. එම නිසා අනේක විධ සීමාවන් ස්ත‍්‍රී ශරීරය මත පටවනවා. ප‍්‍රධානතම දේ ශරීරය හැකිතාක් ආවරණය කරවීම. මේ නිසා තරමක් ශරීරය නිරාවරාණය කරගත් ස්ත‍්‍රියව තදින් ගැරහීමට ලක් කරනවා. ඒ වගේම තමයි, පිරිමියෙක් ස්ත‍්‍රී ශරීරයක් ගණනට නොගෙන  නොසලකා හැරියොත් ඒ ගැහැණියත් මහා වියවුලකට ලක් වෙනවා. ඒ ගැහැණියට සිතා ගත නොහැකි වෙනවා කාරණය මොකක්ද කියලා. මේ තත්ත්වය ගැන අපි ගැඹුරු අවබෝධයක් ලබා ගන්න  ඕන. පිරිමි පරිකල්පනයෙන් පිටතට යාමට පිරිමියාගේ පමණක් නොව ගැහැණියගේත් තියෙන්නෙ විශාල විරෝධයක්. 

අපි ප‍්‍රායෝගික උදාහරණයකට යමු. උදේ වැඩට ගිය සහකරුවා, වැඩ ඇරිලා සවස් කාලයේ ගෙදරට ආවම, තම සහකාරිය අතින් තේ එකක් හදාගෙන බිව්වම සියළු දෝෂ, ඉවරයි කියනවා. සමහරවිට සහකාරියත් රක්ෂාවට යන කෙනෙක්. එහෙම නැති වුනත් උදේ ඉඳන් ? වෙනකම්ම් දහසකුත් එකක් වැඩ කරන කෙනෙක්. නමුත් ඒ වැඩ කිරීම පිරිමි වැඩ කිරීම හමුවේ දෙවෙනියි, ග‍්‍රාම්‍යයි. එම නිසයි සහකරුවාට තේ එකකුත් හදලා දෙන්න වෙලා තියෙන්නෙ. අපි තේරුම් ගන්න  ඕන මෙතන තියෙන උවමනාව තේ එකක් බීමම නොවෙයි කියලා. එනම් සහකාරිය තමන්ට අවනතද නැද්ද කියන එක පරික්ෂා කිරීම හා එය තහවුරු කර ගැනීමයි. එමඟින් ඔහු තම රැකියා ස්ථානයේ හෝ අන් තැනක ඉහළ අධිකාරියෙන් විඳින පීඩාවන්, ස්ත‍්‍රිය හමුවේ පීඩක ආස්ථානයක් ගැනීමෙන් මුදා හරිනවා. ස්තී‍්‍ර පීඩනය උපදින මේ ආකෘතීන් හඳුනාගෙන, ඒවාට ප‍්‍රායෝගිකව අභියෝග කිරීම අවශ්‍යයි.  ඕනෑම දෘෂ්ටිවාදයක් මෙවැනි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළ සැඟවිලා තියෙනවා. 

මේ නිසා අපි ස්ත‍්‍රී විමුක්ති කතිකාවතක් ගොඩනැගිය යුතුයි. ඒක නිශ්චිතවම සිංහල-බෞද්ධ ජාතික චින්තනයට එරෙහි එකක්. විශේෂයෙන්ම, අද තියෙන පන්සල්, ජනප‍්‍රිය බණ කියන හාමුදුරුවරු ස්ත‍්‍රියගේ විමුක්තිය පැත්තට දාලා ඇයව තව තවත් සිරකරමින් ඉන්නවා. නිර්මාණාත්මකව, තමන්ට ස්වාධීනව වැඩක් කරගන්න තියෙන කාලෙ, පන්සල් ඇතුළෙ, භාවනා මධ්‍යස්ථානවල රස්තියාදු වෙවී නාස්ති කරගන්නවා. අනෙක් අතට විධිමත් රැකියා ස්ථානවල ස්ත‍්‍රීන් විවේකයක් නැතිව අසීමිතව වැඩ කරනවා. එහෙම නොවන තැන්වල ස්ත‍්‍රීන් නිකම්ම නිකං කැරකෙමින් තමන්ගෙ කාලය විනාශ කර ගෙන කාලකන්නි වෙනවා. මේ සියල්ල සාකච්ඡාවට බඳුන් කරන, ස්ත‍්‍රියට පිරිමි පරිකල්පන ලෝකයෙන් මිදීමට හැකියාව සලසන ස්ත‍්‍රී විමුක්ති කතිකාවක අවශ්‍යතාව මේ යුගයේ තියෙන අනිවාර්ය මනුෂ්‍ය අවශ්‍යතාවයක්. 











නිර්මාල් රංජිත් දේවසිරි
         


නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද  
කාන්තා හිංසනය පිළිගනිමු ද?
                         පිටු දකිමු ද?  
යනුවෙන් 2011/08/08 වන දින කොළඹ මහජන පුස්තකාල ශුවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයේදී නිර්මාල් විසින්  ඉදිරිපත් කරන ලද අදහස් වලින් සකස් කරන ලදී.