Tuesday, November 9, 2010

Popසිකල් වෙනුවට රියල් Pop


”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.”
-ජෝන් සෙකාඩා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැ`ගීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්ම මම පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක් වෙන අදහසක් මගේ ඔලූව ඇතුලෙ තිබුණේම නැහැ.

ඒත් සම්මාන උළෙලේ තිබුණු උත්සවශ‍්‍රීය මට ත‍්‍රිලක් ගෙනාවා. කිසි දෙයක් වෙන්නෙ නැති ගඳ ගහන හිස් තැනක ලංකාව කුණු වෙද්දි, ජාතික ඇඳුම්, මල් වට්ටි, පොල් තෙල් පහන්, ආප්ප සහ ලූණු මිරිස් නැතුව අන්තර් ජාතික මට්ටමක සම්මාන උළෙල තියන්න දෙරණ අරගෙන තිබ්බ වෑයම මාව පුදුම කළා. කොහොමද මේ කාලෙ මේ වගේ දෙයක් වෙන්නෙ?

අනර්කලී එක්ක සාරංග පෝඩියම් එක ළ`ගට ආවා. අනර්කලීගේ උච්චාරණය හරියට දත් හිරි වට්ටනවා. ඒත් දැන් අපිට ඉන්නෙ එයා විතරනෙ. මොනවා කරන්නද? සාරංග හු`ගක් හොඳට ඒ වගේම වෙන කිසිම සාම්ප‍්‍රදායික නිවේදකයෙකුගෙ දැකපු නැති තරම් නිර්මාණශීලිව අනර්කලී එක්ක වැඬේ ඇදගෙන ගියා. (ජැක්සන් ඇන්තනි හරි සමන් ආතාවුද හරි වගේ පිළුණු රහට නැතිව*

වැඩසටහන ආරම්භයම හොඳ කික් එකක් අරන් දුන්නා. තමන්ගෙ කට්ටියට සම්මාන දුන්නෙ නෑ කියල විනිශ්චය මණ්ඩලේ කට්ටිය පැහැර ගැනීමක් ගැන කලබලයක් මතුවීමත් එක්ක පටන් ගැන්ම උනුසුම් වුණා. මෙගා ස්ටාර් වගේ ගැලරියෙ වැඩ ‘ලොකු‘ වෙන වටපිටාවක ඒ ආරම්භය හරි දේශපාලනිකයි .


සාමාන්‍යයෙන් සම්මාන උළෙලක් කියන්නෙ ලංකාවෙ බෝරිං වැඩක්. ඒත් මේ වැඬේ මුල ඉඳන් අන්තිම වෙනකල්ම හොඳ ගැම්මක් තිබුණ. බොරු ජාතිකවා ෂෝ වලට වැඩිය ෆන් එකක් ගැන අදහසක් දෙරණට තිබුණ.(ප‍්‍රයිවෙට් චැනල් ඔක්කොමත් ආණ්ඩුවෙ ඒවට වඩා සාම්ප‍්‍රදායික සහ ගොඬේ වැඩ කරන වෙලාවක් මේක*

තේමා ගීතය දකින කොට මට ඒ රූප රාමු එක්ක පොඩි කාංසාවක් ඇති කළා. ඒ රූප රාමු අතරෙ බූඩි ලංකාවට අඳුන්නලා දුන්න දේවල් ගොඩක් මුහු වුණා. ඇයි බූඩි මෙතන නැත්තෙ? මාව ටිකක් ඉරි තැලූණ. නැටුම් වල ටිකක් ගොඬේ පාර්ට් වගේම ඉදිරපත් කිරීමේ තරමක් දැනෙන ඇණ ගැනීම් තිබුණත් සමස්තයක් විදිහට වැඬේ නැගලා ගියා. මට චූ කරන්න යන්න වුණත් නැගිටින්න හිතුණෙ ඉන්න බැරිම තැනදි. ලංකාවෙ ලොකු ලෙකු පොරවල් ඔක්කොම වගේ පෝඩියම් එක ළ`ගට ආවා සම්මාන දෙන්න. ඒත් පරණ සම්මාන උළෙලවල් වල වගේ නිකං ප`ඩි කතා තිබුණෙ නෑ. පොර ටෝක් නැතුව ජෝක් වලින් නැත්තං තමන් ජෝක් වෙලා හරි බලන් ඉන්න අය විනෝද කරන්න ඒ කට්ටියට සිද්ද වුණා. ඒ වැඬේ මේ තරං තැනකට ගන්න දෙරණට පුළුවන් වුණු එක අති විශිෂ්ටයි.

විශේෂයෙන් නාමල් උඩුගම සම්මානයක් දෙන්න වේදිකාවට අරන් ආපු එක ‘වැඩක්‘. නාමල් කියන්නෙ එක්තරා යුගයක ඇත්ත පොලොවෙ ජනප‍්‍රිය වුණු චරිතයක්. මීඩියා වලින් පුම්බපු සුපර් ස්ටාර් චරිත වලට වැඩි ඇත්තක් නාමල්ගෙ තිබුණ (එහෙම දැනෙන්නෙ අද*. අලූත් පොප් වැඩක් කෙරෙද්දි ඒ චරිත වේදිකාවට ගේන්න තරම් දෙරණ දැනුවත් වීම ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ඒත් නාමල් හරි දැනුවත් කිරීමක් නැතුව එතන අවුල් වුණාද මන්දා.

මේ සම්මාන උළෙල ගැන මට තියෙන ‘මාර‘ හැ`ගීම එන්නෙ මේ කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ සම්මාන උළෙලේ ජනප‍්‍රිය කියන, ලංකාවෙ මෝඩකම තීරණය කරන දේවල් වලට වඩා ඇත්ත සංකල්පීය නිර්මාණශීලිත්වයක් දරන දේවල් මතු කිරීම වෙනුවෙන් තිබුණු උත්සාහය නිසයි. ලක්ෂ ගණං සල්ලි වියදම් කරමින් හින්දි- ඉංග‍්‍රීසි කොපි සිංදු හදන මියුසික් වීඩියෝ කර්මාන්තයට අභියෝග කිරීම දෙරණ බාර අරගෙන තිබුණා. බොරු නිෂ්පාදන වටිනාකම් වලින් ඇස් රැුවටීම පැත්තකින් තියලා මියුසික් වීඩියෝ කියන්නෙ ආර්ට් එකක් කියන තැනට දෙරණ සම්මාන උළෙල අරගෙන ආවා.

අපේ චිත‍්‍රපටිය ඇසුරෙන් ‘උදයා‘ ගත්ත සම්මානය නිසා නෙමෙයි, ‘අපේ පරම්පරාවක්‘ ඉදිරියට ගැනීම වෙනුවෙන් ලොකු ගෞරවයක් මට ඒ චැනල් එක ගැන ඇති වෙනවා. ‘ජෝන් සීනා‘ වගේ සිංදුවක ඇතුළත කියවීම හඳුනා ගැනීම, ‘ෆියුනරල් ඉන් හෙවන්‘ වෙනුවෙන් අමිල කරපු වීඩියෝ එක වගේම ‘ගෙම්බා‘ වගේ සිංදු වල තියෙන වෑයම දැනෙන තරම් සංවේ වීම මේ සම්මාන උළෙලේ විශිෂ්ටත්වයයි. ඒ වගේ දේවල් මෙච්චර කල් ලංකාවෙ සිද්ද වුණේ නෑ. වෙනදට ප්‍රොඩක්ෂන් කොම්පැණි ඇවිත් ගෝනි වල දාගෙන යන සම්මාන මේ පාර තනි තනි තරුණයෝ ඇවිත් හු`ගක් ආදරෙන් එකතු කරගෙන ගියා. අනිවාර්යෙන් ඒ අය තවත් වැඩ කරාවි. බය නැතිව තවත් අලූත් දේවල් හිතාවි. ඒ අදහස් අගය කරන එක වේදිකාවක් හෝ තියෙන වගට ඔවුන්ට විශ්වාසයක් තියෙන නිසා.

විමුක්ති, සුභාෂ්, සුමේධ, ප‍්‍රවීන් විනිශ්චය මණ්ඩලයේ සිටීම අනිවාර්යෙන්ම මේ විකල්ප පන්නරය අරන් එන්නට හේතු වෙන්න ඇති. සල්ලි මත තීරණය වෙන කර්මාන්තයක් ඇතුළත අලූත් දෙයක් වෙනුවෙන් ඉඩක් හදන්නට තරම් ඔවුන් නිර්භීත වීම ගැන ඔවුන් බදා වැළඳ සිප ගත යුතුයි. මියුසික් වීඩියෝ කියන එක කලාවක් නැත්තං ආර්ට් එකක් කියන අවධාරණය ඇති කිරීම ඒ අය මේ කාලෙ කරපු ලොකු වැඩක්. ඒක කොහෙත්ම සුළුවෙන් තකන්න බැහැ.

මේ වැඬේ වෙද්දි මගේ හිතට ආපු මතකය වුණේ 2005 අවුරුද්දෙ චිත‍්‍රපටි සංස්ථාව පවත්වපු කෙටි චිත‍්‍රපට තර`ගය. අහම්බෙන් ඒ විනිශ්චය මණ්ඩලයෙ අශෝක හඳගම හිටපු නිසා තේරුණු චිත‍්‍රපට වෙනම ම හැඩයක් ගත්තා. චිත‍්‍රපටි හදන්න අලූත් උනන්දුවක් ඇති වුණා. ඒ සම්මාන උළෙල සැණකෙලියක් වුණා. ඒක සිද්ධියක් නෙමෙයි. ප‍්‍රවණතාවයක් විදිහට සමාජයට බලපෑවා. දෙරණ සම්මාන උළෙලත් එහෙම වුණු අහම්බයක්ද කියන්න මම දන්නෙ නෑ. කොහොම වුණත් විකල්ප කලාවක් වෙනුවෙන් මේ හිටගැනීම දෙරණට ලේසි වෙන එකක් නැහැ. අනිවාර්යෙන්ම බොහොමයක් අභියෝග වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිද්ද වේවි. ඒ වුණත් මේ වෙනස ‘දෙරණ‘ සමාජ වෙනසක් වෙනුවෙන් දුන්න ලොකු තල්ලූවක්. විශේෂයෙන්ම ජනප‍්‍රිය තරු පිරිවැරූ ගලධාරියේ රතු කාපට් රාත‍්‍රියක මේ විකල්ප නිර්මාණකරුවන් අභිෂේක කිරීම අතිශය දේශපාලනික වෑයමක්.

කොහොම වුණත් මාව අමන්දානන්දයට පත් කරමින් බූඩි සම්මානයක් දෙන්න පෝඩියම් එක ළ`ගට ආවා. ඒ එක්කම ඒ සම්මානය ගන්න වේදිකාවට යන්න තිබුණෙත් උදයටයි මටයි ඉන්ද්‍රචාපාටයි. මම අපේ ලොකු අයියාව (බූඩි* බදා ගත්තෙ සමස්ත පරපුරක් වෙනුවෙන්ම ඔහු කරපු විෂුවල් මෙහෙවර ගැන පට්ට ආදරේකින්. කැමරාව හොල්ලන්න, පාරෙ හිටවන්න, අරන් දුවන්න බය නැති කරපු ඒ අලූත් පරපුරක පුරෝගාමියා අතින් අපි සම්මානයක් ගත්තා.

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල ජාතික තලයේ රූපවාහිනී නාලිකාවකින් බලාපොරොත්තු වෙන්න බැරි තරමෙ ප‍්‍රචණ්ඩ වැඩක්. ඒ වගේම ඒක උපරිම වින්දනයක් සහිත නිර්මාණශීලී මෙහෙවරක්. මේ වෙලාවෙ ලංකාවෙ පොලොවෙ සිරාම දේශපාලනික මැදිහත් වීමක්. කවදාවත් දෙරණෙ වැඩසටහන් බලද්දි මම බලාපොරොත්තු වුණේ නැහැ අලූත් සිහිනයක් වෙනුවෙන් මේ විදිහෙ කැපකිරීමක් කරන්න දෙරණට පුළුවන් වෙයි කියල. ඒත් එදා ? දෙරණ මාව වෙනස් කළා. ඒ වෙනස වෙනුවෙන් කොන්දක් තිබුණු එහි සබාපති ලක්සිරි වික‍්‍රමගේටත් මගේ හෘදයාංගම ප‍්‍රණාමය.

ලංකාවෙ හැමදාම සිද්ද වුණා වගේම හෙට වෙනකොට මේ හැම දේකම අර්ථයන් අහෝසි වෙන්න පුළුවන්. දෙරණ ආයිමත් සාම්ප‍්‍රදායික ගොහොරුවට තල්ලූ වෙන්න පුළුවන්. ඒක ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත. ඒත් එක රැුයක්, එකම වතාවක් හරි ලංකාවේ එකම මියුසික් වීඩියෝ සම්මාන වේදිකාව විකල්ප නිර්මාණකරුවන් වෙනුවෙන් ඇරුණා. ඒක මට සුබ බලාපොරොත්තුවක් ඇති කරනවා.

එඩිසන්ගේ පළවෙනි විදුලි බුබුළත් දැල්වුණේ තත්පර කීපයක් විතරයි.

-චින්තන ධර්මදාස

2 comments:

h said...

හයියෝ... වෙනද වගේ චා ඇති කියල මම මේක ටීවී එකේ යද්දි බැලුවෙ නෑනේ...

සමරෙ said...

මටත් උනේ ඒකමයි.
තෙල් මෝලක ඉඳං චොකලට් කෑවත් පුන්නක්කු කෑවත් දෙකම එකයිනේ.