Thursday, November 17, 2011

ආසනික් තිබුණත් නැතත්.....

සුපර් ස්ටාර් ආසනික් සහ නාථ දෙවියෝ .....

ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප‍්‍රිය මාතෘකාවක් වී  ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් කළ කිහිප දෙනා අතරින් කෙනෙකි. "සිංහල බෞද්ධයින්"රටේ ප‍්‍රමුඛතම ජනවර්ගය බව ප‍්‍රකාශ කරන ඔහු ඉතිරි ජනයා සිංහල-බෞද්ධ සංරචකයේ උප කුලක ලෙස සලකයි. ඔහු "බටහිර විද්‍යාව ප‍්‍රමුඛ බටහිර චින්තනයට" මුළුමනින්ම පාහේ විරුද්ධ ය. සිංහල-බෞද්ධ ජන විඥාණයෙන් මතු වන ජාතික චින්තනය ඇසුරින් ඒ තුළින්ම නව දැනුම, ප‍්‍රවාද බිහිකර ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වන්නේ ය. ඒ අනුව බෞද්ධ ජන මනස අරක්ගත් දෙවිවරු පිළිබඳ විශ්වාසයත්, අධ්‍යාත්මික දියුණුව මගින් දැනුම වර්ධනය කරගැනීමත් ඔහුගේ මූලික පිළිගැනීමකි. එම අදහස් පද්ධතියට අනුව සිංහල බෞද්ධ සමයේ එන දෙවිවරු සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් වෙති. අනෙක් දෙවිවරු මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වන්නේ ය.

රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගයේ හේතුව ආසනික් ශරීරගත වීම බව මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ට මුලින්ම දැනුම් දී ඇත්තේ එම පර්යේෂණ කණ්ඩායමට අයත් නොවන බාහිර පුද්ගලයෙකු විසිනි.  හරියටම කිව්වොත් බාහිර තැනැත්තියක විසිනි. ඇය රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිලාභිනියකි. නමුත් මේ වන විට ඇයගේ ජීවන වෘත්තිය වී තිබෙන්නේ නාඩි බලා ලෙඩ, රෝග නිර්ණය කිරීමත්, ඒ අනුවම ප‍්‍රතිකාර කිරීමත් ය . ඇයට එම හැකියාව ලබා දී ඇත්තේ නාථ දෙවියන් විසිනි. ඒ අනුව ඇය නාථ දෙවියන් සමග සන්නිවේදනයේ යෙදෙන්නී ය. ඇය විසින් මුල් වරට, රජරට ජලයේත්, පොළොවේත්, භෝග වගාවන්හිත්, අනෙකුත් ගහ කොළ වලත්, මිනිස් ශරීරයේත් ආසනික් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායමට අනාවරණය කර ඇත. එමෙන්ම වකුගඩු රෝගයේ හේතුව වන්නේ ද, එයම බව ඇය පවසා ඇත. මෙම දැනුම ඇයට ලබා දී ඇත්තේ, ඇය පවසන පරිදි නාථ දෙවියන් විසිනි.

‘සිංහල-බෞද්ධ’ ජන විඥාණය පෙරටු කරගත් ජාතික චින්තන දැනුම් පද්ධතියට අනුව, නාථ දෙවියන්ගේ මෙම අනාවරණය කිරීම කිසිදු අයුරකින් සැක කල නොහැක. ඒ සත්‍යක්ම ය. පර්යේෂණ කණ්ඩායම එය එලෙසම විශ්වාස කරන්නේ වුවත්, තවමත් බටහිර විද්‍යාවේ සහ බටහිර චින්තනයේ ආධිපත්‍යයට නතුවී ඊට ගැතිවී සිටින ලාංකිකයාට, මෙම ආසනික් පිළිබ`ද අදහස බටහිර විද්‍යාවේ පර්යේෂණ විධ ක‍්‍රමයන්ට අනුව පර්යේෂණයේ යෙදී සනාථ කල යුතුය. ඔවුන් පවසන්නේ, ඔවුන් එම පර්යේෂණයන්හි නිරත වූ බවයි. ප‍්‍රථිඵලය වී ඇත්තේ දෙවියන්ගේ නිගමනය නැවත සනාථ වීම පමණි. ඒ අනුව ඔවුන් එය ජනමාධ්‍ය තුළ කථා බහට රැගෙන ආවේය.

ඉහතදී සඳහන් කිරීමට නොහැකී වූ වැදගත් කාරණයක් ඇත. එනම් නාථ දෙවියන් මෙම දැනුම ලබා දෙන්නේ එක් කොන්දේසියක් ඉටු කිරීමට බැඳී සිටින්නේ නම් පමණි. එනම් තමන්ගේ ජීවිතය බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමට කැප කරන්නේ නම් ය. පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා පේවී, කැපවී සිටන බව පවසති.

නාථ දෙවියන්ට අභියෝගයක් ......

කෙසේ වෙතත් ජනමාධ්‍ය ට ආසනික් ආශික් එකක් බවට පත් විය. සමහර මාධ්‍ය එම අදහස බදා වැළඳ ගැනීමටත්, සමහර ඒවා ප‍්‍රතික්ෂේප කිරීමටත්, පෙළ ගැසුණි. රේගුවෙන් කෘමිනාශක තොගයක් මුදා හැරීම ප‍්‍රතික්ෂේප කර රඳවා තබා ගැණුනි. පසුව මේවා කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණයක්  කලේය. එම පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ කෘමිනාශක වර්ග දෙකක පමණක් ඉතා සුළු වශයෙන් ආසනික් පැවතුනත් ඉතිරි සියල්ලේ ආසනික් නොපැවතුණු බවය. මේ සමග නලින් ද සිල්වා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ අදහස අභියෝගයට ලක් විය. ඒ සමගම වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් සහල් සාම්පල් ලබාගෙන කළ පර්යේෂණයෙන් අනාවරණය වූයේ එම සහල් වල ආසනික් අඩංගු නොවන බවය.  එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේම රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ජනිතා ලියනගේ විසින් කලක් තිස්සේ කළ පර්යේෂණ වලින් නලින් ද සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ නිගමනය සාවද්‍ය බව අණාවරණය විය. මේ සෑම පර්යේෂණයක් සම්බන්ධ තොරතුරු අඩු වැඩි වශයෙන් පුවත්පත් හෝ රූපවාහිනී නාලිකා ආදී ඒ ඒ ජනමාධ්‍ය ඒකක තුළ ප‍්‍රකාශයට පත්වෙමින් පවතී. එමෙන්ම ඒවා රටේ ප‍්‍රතිපත්ති තීරණය කිරීමේදී වැදගත් වන ආයතනයන් තුළ ද විශේෂ කථාබහකට ලක් වූවේය. එපමනක් ද නොව ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්‍ෂ, ආසනික් තම ප‍්‍රමුඛ සටන් පාඨයක් කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටී. ජනිපෙ නායක විමල් වීරවංශ මහතා මීට ටික කලකට ඉහතදී ප‍්‍රකාශ කලේ පාන් පිටි ත‍්‍රස්තවාදයක් ගැන ය. පාන් පිටි ත‍්‍රස්තවාදයට එරෙහිව හාල් (පිටි) ඉදිරියට රැගෙන ආ යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. දැන් හාල් වල ආසනික් පවතී නම්, එහුගේ එම උත්සාහය ව්‍යවර්ථ වීම අනිවාර්යයකි. ඒ නිසාමදෝ එම පක්‍ෂය පොලූ, මුගුරු රැගෙන සටනට අවතීර්ණ වී සිටිති.

කෙසේ වෙතත් මේ ආකාරයට ආසනික් තිබීමට එරෙහි පර්යේෂණ මගින් කරළිය අත්පත් කරගැනීමත් සමග නලින් ද සිල්වා ප‍්‍රකාශ කළේ, තම කණ්ඩායමේ පර්යේෂණ විධි ක‍්‍රමය බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස ඉදිරියේදී එළිදක්වන බවයි. ඒ අනුව ආසනික් විවාදය තව තවත් ඉදිරියට ඇදී යනු ඇත.

නියරේ කතිකාව

ඒ මේ සියළු සාකච්ජා අතරතුර ‘නියරේ’ අදහස කුමක්දැයි අප ප‍්‍රකාශ කළ යුතුව ඇත. එය මේ පරිදිය.

පත්තර කීපයක් හා රූපවාහිනී නාලිකා කීපයක් ආසනික් පටලවා ගෙන ඇත්තේ අලෙවි ප‍්‍රශ්නයක් ලෙස ය. ඔවුන් ට ආසනික් තිබීමේ හෝ නොතිබීමේ අදාලත්වයක් නැත. ”හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන සටන් පාඨය ඔවුන්ගේ පරම ආදර්ශ පාඨයයි. අලෙවිය වැඩි වන්නේ නම්  ඕනෑම දෙයක් කරන එම මාධ්‍ය ආයතන සහ බහු ජාතික කෘෂි රසායන සමාගම් අතර වෙළඳපොල තර්කණයේ අර්ථයෙන් කිසිදු වෙනසක් නැත.

යුගයේ විලාසිතාව

විෂ ශරීරගත කර ගැනීම මේ යුගයේ මිනිස් ශරීරය පිනවීමේ ප‍්‍රධාන ආකෘතිය වී ඇත. ඒ සමඟම සත්‍යය සෙවීම වෙනුවට, යථාර්ථය වියවුලක් බවට පත් කර ගැනීම මානසික තෘප්තිය ලැබීමේ මාර්ගය බවට  පත් වී තිබේ. ජනමාධ්‍ය මේ දෙකටම නොමඳව සහාය දක්වමින් සිටී.


නලින් ද සිල්වා විසින් නාථ දෙවියන් සිංහල-බෞද්ධ ජන විඥාණය එකිනෙක සම්බන්ධ කිරීම මගින් සිංහල බෞද්ධයාට තමන්ගේ විඥාණයේ හා ‘‘තරම’’ බලා ගැනීමට කැඩපතක් නිර්මාණය කර ඇත. නමුත් කිසිවෙක් තමන්ට නොපෙනෙනා දේ කැඩපතින් බලා ගැනීමට උත්සුක වන බවක් පෙනෙන්නට නැත.

ආසනික් ප‍්‍රශ්නාර්ථිකය

අනෙක් අතට නාථ දෙවියන්ගේ නිගමනය බොරු කරමින් සහල් වල හා කෘෂි රසායන වල ආසනික් බිඳුවක් වත් අඩංගු නොවන බව තහවුරු වුවහොත් අපි කෘමි නාශක හා වල් නාශක සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමුද? අප හමුවේ ඇති බරපතල ප‍්‍රශ්නය මෙය යැයි සිතමු. නලින් ද සිල්වා පත්තු කළ වදුලේ ආසනික් නොමැති බව නිච්චියටම තහවුරු වුව හොත් කෘෂි රසායන භාවිතය කැප ද? ආසනික් ගැටළුවේ ප‍්‍රශ්නාර්ථිකය මෙතන ඇත.

නලින් ද සිල්වා මතුකරන සිංහල-බෞද්ධ ජන වර්ගය හෝ වෙනත්  ඕනෑම ජන වර්ගයක් හෝ එකිනෙක සංසන්දනය කරමින් එකක් අනෙකට වඩා ඉහළ හෝ පහළ හෙළීමට අප ක‍්‍රියා කරන්නේ නැත. නලින් ද සිල්වා පවසන පරිදි නාථ දෙවියන් යනු දුටුගැමුණු රජතුමා වන්නේය. එය ඒ ආකාරයට අර්ථ කථනය කිරීමේ අවසාන උවමනාව හා ගොඩනැගීමට උත්සාහ කරන කතාන්දරය පැහැදිලිය. එනම් බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමේත්, ලංකාව ආරක්‍ෂා කිරීමේත් දිව්‍යමය ආත්මය දුටුගැමුණුට සම්බන්ධ කර ඊනියා සිංහ-බෞද්ධ ඉතිහාස කථාන්තරය වර්තමානය තුල සමාජ දේශපාලන බලයක් ලෙස නැවත නැවතත් තහවුරු කිරීම ය.

(අප එම විනාශකාරී දේශපාලන එළඹුමට මෙතනදී ගැඹුරින් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එය වෙනත් තැනක සාකච්ජා කළ යුතු එකකැයි සිතමු. නමුත් ‘ආසනික්‘ කෙතරම් ‘විෂ’ ද , එතරම්ම මෙම දේශපාලන මෙහෙයුමත් මනුෂ්‍ය සමාජයට ‘විෂ’ බව පමණක් සටහන් කර තබමු.)

බහුජාතික ආසනික්

එමෙන් ම, කෘෂි රසායන වල ආසනික් නැති බව පර්යේෂණ ඇසුරින් තහවුරු කිරීම නිසා ගොවියා සූරාකන බහු ජාතික සමාගම් වල ඉතිහාස කථාව සුජාතකරණය වන්නේ ය. ඔවුන්ගේ එම පර්යේෂණ, කෘෂි රසායන වලින් පොළොවට සිදුවුන හානියත්, ජෛව විවිධත්වයට සිදුවන හානියත්, පොළොව, ගහ කොළ, කුඩා ජීවීන් හා මහා ජීවීන් ඇතුළු මිනිසා ව්‍යාධියට පත් වී විනාශ වන ආකාරයත් අනාවරණය කරන්නේ නැත. මෙහි ඇති අරුමය එයයි. මේ නිසා එම පර්යේෂණයන් ද මිනිස් සමාජයට ආසනික් තරමටම විෂ වන්නේ ය.

ප‍්‍රාග්ධනයේ බැම්මෙන් බැඳ ගොවියා සහ පාරිභෝගිකයා සූරාකන බහුජාතික සමාගම් වල ක‍්‍රියාකාරීත්වයත්, ජාතිවාදී කතිකාව තව තවත් ශක්තිමත් කරමින්  ජන සමාජයේ ඒකමිතිය වඩ වඩාත් බිඳ වට්ටමින් විනාශ කිරීමත් යන දෙකම අප හමුවේ ඇති අභියෝග වන්නේ ය. අප මේ දෙකටම එරෙහිව සිහිය එළවාගෙන මුහුණ දිය යුතුය. එමෙන්ම අප නවීන පර්යේෂණයන්ට හෝ විද්‍යාවට තෙරුමක් නැතිව විරුද්ධ වන්නේ නැත. අපට ඇති ගැටළුව ඒවා මිනිසා පීඩාවට පත් කිරීමට එරෙහිව හා මනුෂ්‍ය සමාජයේ යහපත වෙනුවෙන් යොදා නොගැනීම ගැනය. සොබා දහම සවපත් කිරීමට නව පර්යේෂණ අවශ්‍ය බව අප විශ්වාස කරමු.

නිගමනය

මේ නිසා අපට අවසාන වශයෙන් පැවැසීමට ඇත්තේ කුමක්ද? එනම් ආසනික් තිබුණත් නැතත්, මෙම විනාශකාරී කෘෂි රසායනයන් ට, ඒවා සම්බන්ධ බහු ජාතික වෙළඳ ජාලයට අපගේ පැවැති විරෝධයේ කිසිදු වෙනසක්  වන්නේ නැති බවයි.

ප්‍රදීප් ජයරත්න

මෙම ලිපිය ''නියර'' පුවත්පතේ මැයි-ජූනි කලාපයේ පලවූ ලිපියකි









Wednesday, November 9, 2011

තරහ පිරුණු මිතුරන්ට

එකතැන කරකැවෙන සිතුවිලි....
දියසුළි.
එතැනම ගැඹුරට රැගෙන යන දියරැළි....
නොමනිමි
තම තමන් තුළම වූ පටලැලි....
කෙහෙරැළි
සරකරනවා ඇතුලේම අඳුරැති....
පතුල නැති

ගැලවෙන්නට දඟලති
තව තවත් පැටලෙති
සුළි කරකැවෙති
උඩ යති යට යති
නොපෙනීම යති
යළි යළිත් මතුවෙති....

කරකැවෙන සුළිය
ඕජස් ගලන සිතුවිලි සූපය
දවන හද මඬල....
නිවුනු සිත් තුළ
දල්වයි
පහන් සංවේගය....

ගැලවීමට දැඟලීමමය ඇලවීම
අත්හල හැකිද "ගැලවීමට දැඟලීම"
එකෙණෙහිම ස‍න්සුන් 
නිසසලයි හද මල්
ගැඹුරු දිය මතුපිටින්
හමා යයි සීතල පවන්.
නිවන්.......

ප්‍රදීප් ජයරත්න



Tuesday, November 1, 2011

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!


පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.

අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ වෝල් ස්ටී‍්‍රට්වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ?දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන පිබිදීම’ තමයි අපි.


අපි මොනවත් විනාශ කරන්නේ නෑ. මේ ක‍්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයො තමයි අපි. ඔබලට මතක නම් කාටුන් චිත‍්‍රපටවල එන කාටත් පුරුදු දර්ශන පෙල. හැල්මෙ දුවගෙන එන පූසා මහ පාතාලයක කඩ ඉමටත් ඇවිල්ලඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිත් නොමැති බව නොදැක්කා වගේ. ඒත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහළට වැටෙනවාඅන්න ඒ දෙයම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා අපේ Wall Street ඇත්තන්ට, ‘‘යාළුවාපහත බලන්න !’’.

2011 අපේ‍්‍රල් මැදචීන රජය කාල තීරණය ^Time travelනැත්නම් විකල්ප යථාර්ථය ^Alternate reality& අලළා ගෙතුනු කතා පුවත් රැගත් චිත‍්‍රපට,නවකතාරූපවාහිනි වැඩසටහන් සියල්ල තහනම් කළා. මේක චීනය පිළිබඳ සුබ ලකුණක්. මේ ජනතාව විකල්පයන් පිළිබඳව තවමත් සිහින දකිනවා. ඒ නිසාම මේ සිහින දැකීම තහනම් කරන්න සිදුවී තිබෙනවා. මෙහේදීඅපට තහනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ද කිව්වොත් මේ පාලන ක‍්‍රමය විසින් සිහින දැකීමට අප සතු හැකියාව පවා දැන් යටපත් කරල. මේ කාලයේ අප නිතර බලන චිත‍්‍රපට ගැන හිතන්න. ලෝක අවසානය ගැන පවා සිතින් මවාගැනීම ඉතා පහසුවෙලා තියෙනවා. ඔය උල්කාපාතයක් ඇවිත් ලෝකයේ සියලූ ජීවය විනාශ කර දමනව වගේ. ඒත් ධනවාදයේ අවසානයක් ගැන උපකල්පනය කරගන්න බැහැ.

එහෙනම්මොකද්ද අපි මෙතන ඉඳගෙන කරන්නේඒ ගැන කියන්න හොඳ හාස්‍යජනක කතාවක් තියෙනවා. මං කියන්නම් පැරණි කොමියුනිස්ට් කාලේ විහිළු කතාවක්. ඔන්නනැගෙනහිර ජර්මනියෙ ක‍්‍රියාධරයෙක්ව යවනව යම් කාර්යයක් සඳහා සයිබීරීයාවට ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩල කියවල බලනව කියලා. ඔහු කියනව ඔහුගේ මිත‍්‍රයන්ට ‘‘අපි රහස් සටහන් ක‍්‍රමයක් තියාගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල්පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්,ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම්ඒ තොරතුරු අසත්‍යයි.’’ ඔන්න මාසයකට පස්සේමිත‍්‍රයන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල්පාටින් ලියලා තියෙන්නෙ. ඒකේ කියනවා, ‘‘මම මෙහේ හොඳ අපූරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල්වල ඇති පදමට හොඳ කෑම තියෙනව. සිනමාහල්වල හොඳ බටහිර චිත‍්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොඳ සැප පහසුකම් සහිත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේ තමයි රතු තීන්ත.’’ ඔන්න ඔහොම තමයි අපි ජීවත්වෙන්නෙත්. අපට අවශ්‍ය හැම නිදහසක්ම අපට තියෙනව. අපට අහේනියකට තියෙන්නේ රතු තීන්ත විතරයි. අපේ නිදහසක් නොමැතිකම,කියාගන්න භාෂාවක් නොමැතිකම. නිදහස පිළිබඳ කතාකරන්න අපට උගන්වලා තියෙන ආකාරය - ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වගේනිදහස අනර්ථයක් බවට පත්කරනව. අන්න ඒ ගැන තමයි අපේ ක‍්‍රියාකාරීත්වය. ඔබ අපිට රතු තීන්ත සපයනව.

මෙතන අනතුරක් තියෙනවා. ඔබඔබත් එක්ක ආදරෙන් වෙලෙන්න හදන්න එපා. අපි මෙතන විනෝදයෙන් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා,සැණකෙළි කියන්නේ ලාභ විනෝදාස්වාදය. වඩා වැදගත් වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවිතයට ආපහු ගියාමහෙට දවසෙ සිදුවන දේ. එතැන මොනයම් හෝ වෙනසක් තියේවිද? ‘‘අපේ තරුණ අවධියේ දී.... ඒ දවස් මොනතරම් සුන්දර ද කියන්නා වාගේඔබ මේ දවස අනුස්මරණය කිරීම නොවෙයි මගේ උවමනාව. මතක තියාගන්න අපේ මූලික පණිවුඩය, ‘‘විකල්ප ගැන හිතන්න අපට අවසර තියනවා’’. යම් හෙයකින් මේ නීතිය බිඳෙනවා නම්එසේ අප වෙසෙන ලෝකය වඩාත්ම හොඳ ලෝකය නම් නොවේ. කොහොමටත්අප ඉදිරියේ දිගු ගමන් මගක් තියෙනවා. එහිදි සත්‍යවශයෙන්ම දුෂ්කර ප‍්‍රශ්න අපට අභිමුඛ වෙනවා. අපි දන්නවා අපට  ඕනෑ නැති දේ. නමුත්අපට  ඕනෙ මොනවාදධනවාදයේ තැන පිරවිය හැකි සමාජ සංවිධානය කුමක්දමොන වගේ නව නායකයින්ද අපට  ඕනෑ?.

යළි සිහියට ගන්නගැටලූව දූෂණවංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ මේ ක‍්‍රියා පිළිවෙත දිය කරල දාන්න දැනටමත් කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න. කැෆේන් ^caffeine&නොමැති කෝපි වගේමධ්‍යසාරය නැතිව බියර් දෙනවා වගේමේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේඔවුන් මේකත් කිසි හානියක් නොවන සදාචාරමය විරෝධයක් පමණක් බවට පත්කරන්න උත්සාහ දරයි. විශුද්ධිකරණය කරන ලද ක‍්‍රියාදාමයක්. නමුත් අපි අද මෙතන ඉන්නේ කොකාකෝලා බින් කෑන් ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින්පින් අතේ වැඩ වලට ඩොලර් කිහිපයක් දන් දෙමින්නැතිනම් ස්ටාර් බක්ස් කැපචීනෝ ^Starbucks Cappuccino කෝප්පයක් මිලදී ගත්තම ඉන් 1% ක මුදලක් තුන්වන ලෝකයේ සාගින්නට පත්වූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග වන නිසා එයින් හිත සනසා ගනිමින් ඉන්න පුළුවන් වන ලෝකයක් දැන් අපට හොඳටම ඇති වෙලා තියෙන නිසා. අපේ රැකියා ඒත් සමගම වධහිංසා පිටට දුන්නට පස්සේ,දැන් අපේ මංගල සේවා ඒජන්සි දැන් අපේ ආදර ජීවිතයත් පිටට දීලා තියෙනවා. දැන් අපිට පේනවාදිගු කාලෙක ඉඳලාඅපි අපේ දේශපාලනික සහභාගිකමත් පිටට දෙන්න ඉඩහැරලා තියෙනවා. දැන් අපිට ඒක ආපහු  ඕනෑ.

සමාජවාදය කියන්නේ1990 දී බිඳවැටුණ ක‍්‍රමය  නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුරවඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. අද චීනය තුලඔබේ ඔය ඇමරිකානු ධනවාදයට වඩා සුගම ධනවාදයක් අපට අත්දකින්න ලැබෙනවා. ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නැති. එහි තේරුමඔබ ධනවාදය විවේචනය කරද්දිඑමගින් ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධය යන නියමයට අහුවෙන්න ඉඩ තියන්න එපා. ධනවාදයයිප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ හැකියි.

අද අපි කළ හැකියි කියල දකින්නේ මොකද්දඅපි සරලව ජනමාධ්‍ය ඇසුරු කරල බලමු. එක අතකින් බලපුවහමදැන් තාක්ෂණයේ හා ලිංගිකත්වයේ තත්ත්වය බැලූවොත්  ඕනෑම දෙයක් සිද්ද කරන්න පුළුවන් වගෙයි. දැන් හඳට යන්න ඔබට පුළුවන්කම තියෙනවා. ජාන තාක්ෂණයේ පිහිටෙන් අමරණීය වෙන්න ඔබට පුළුවන්. සතුන් සමග ලිංගිකව හැසිරෙන්නත් පුළුවන්. අමතරව තව බොහෝ දේ. නමුත් බලන්න සමාජයීය හා ආර්ථික කේෂ්ත‍්‍ර දිහා. එහිදී,බොහෝවිට කිසිවක් කළ නොහැකි බවයි කියැවෙන්නේ. ඔබට අවශ්‍යයයි ධනවතුන් සඳහා වන බදු පරිමාව ඉතා සුළු අගයකින් ඉහළ දමන්න ඒත් ඔවුන් කියනවා. එය කිසිසේත්ම කළ නොහැකියි. එහෙම වුනොත් අපේ තරකාරිත්වය බිඳෙනවා. ඔබට අවශ්‍යයයි සෞඛ්‍යය අංශය සඳහා වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් යොදවන්න. එතකොට ඔවුන් කියනවාකොහොමටත් බැහැ. ඒ කියන්නේ මේක රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්කිරීම. ලෝකයේ මොකද්දෝ වැරුද්දක් තියෙනවා. නොමැරී ඉන්න පුළුවන් වුනත් සෞඛ්‍ය සේවා සඳහා පොඩි මුදලක් වැඩිකරන්න හැකියාව නැහැ. සමහරවිට අපි අපේ ප‍්‍රමුඛතා හරිහැටි පෙළගස්වගෙන නැහැ වගෙයි. අපට අවශ්‍ය නෑ වඩා උසස් ජීවන තත්ත්වයක්. අප  ඕනෑ වඩා හොඳ ජීවන තත්ත්වයක්. අප සමාජවාදියෝ නම්ඒ අපි ලෝකයේ පොදු සම්පත් රැකගැනීමට උනන්දු වන නිසා. සොබාදහමේ කාටත් පොදු අයිතිය සඳහා බුද්ධිමය දේපළ අයිතිය මගින් පෞද්ගලීකරණය කරන ලද පොදු සම්පත්. ජාන තාක්‍ෂණයට නතු කරගනු ලබන පොදු දේපොළ. මේ වෙනුවෙන්මේ සඳහාම පමණක්අප අරගල කළ යුතුයි.


සමාජවාදය නිත්‍ය ලෙසම අසාර්ථක වුනා. පොදු සම්පත පිළිබඳ ගැටලූව මෙන්න දැන් මතුවෙලා. ඔවුන් කියනවා ඔබටඅපි ඇමරිකානුවො නොවෙයි,මෙතන ඉන්නකොට. නමුත් තමන් ඇමරිකානුවන් බව කියා පාන ඔය ආරක්‍ෂකවාදීන්ටමූලධර්මවාදීන්ට මතක් කරල දෙන්න යමක් තියෙනවා. ක‍්‍රිස්තියානිය කියන්නේ මොකද්දඒ තමයි ශුද්ධාත්මයාණෝ. ශුද්ධාත්මයාණෝ කියන්නේ එකිනෙකා වෙත ඇති පේ‍්‍රමයේ බැඳීමෙන් සමානාත්මතාවයෙන් යුතුව හැසිරෙන හා එසේ කිරීම සඳහාම තම නිදහස හා වගකීම ඇත්තාවු විශ්වාසකයින්ගේ සංඝයක්. මේ අර්ථයෙන්,ශුද්ධාත්මයාණන් මේ දැන් අප අතර. එහෙම නම්අතන වෝල් ස්ටී‍්‍රට්’ එකේ ඉන්නේ බොරු දෙවිවරුන්ට වන්දනාමාන කරන මිත්‍යා දෘෂ්ඨිකයින් පිරිසක්. ඒ නිසාදැන් අපට අවශ්‍යව ඇත්තේ ඉවසීමයි. මට බියගෙන දෙන එකම කාරණයඅපි කිසියම් දවසක මේ වැඬේ දාලා ගෙදර යයිගිහින් ආපහු වසරකට සැරයක් මුණගැහිලාබියර් බොමින්අතීතාවර්ජනය කරමින් ‘‘ඒ දවස්වල  අපි මෙතැන කොච්චර හොඳ කාලයක් ගත කළාද?’’ කියමින් මේ අවස්ථාව ස්මරණය කරන්න යෙදෙයිද කියන එක. ඒ කාරණාව එසේ සිද්ධ නොවන බවට ඔබට පොරොන්දු කරගන්න. අපි දන්නවා ජනතාව බොහෝවිට ආශාකරන දේ ලබාගන්න ඇත්තටම උවමනාව නෑ. ඔබ ප‍්‍රාර්ථනා කරන දේ හැබෑවටම උවමනා කරන්න බිය වෙන්න එපා. ඔබට බොහොම ස්තූතියි.

2011/10/09 වන දින Occupy Wall Street උද්ඝෝෂණයේදී ස්ලෝවේනියානු දාර්ශනික ස්ලැවෝයි ජිජැක් උද්ඝෝෂකයින් අතරට පැමිණ කළ කතාවේ සිංහල පරිවර්තනය.

http://youtu.be/cylsD-MMEbM

උපුටාගැනීම 'රාවය' පුවත්පත 2011/10/30