Friday, September 24, 2010

වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය

දහ අට සන්නිය නටා පේවීමට මත්තෙන් පියසීලි මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුනේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුනි. 
ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර, සතුරු-මිතුරු කඳවුරු අතර බෙදීම දිය කරමින්, නව බෙදීම් නිර්මාණය කරමින්, හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට අනේක විධ බැණුම් අසමින් කටයුතු කිරීම ඉන් ප්‍රධානම කාරණයකි. මේ මගින් මගේ සිත තුල තෙරපෙමින් තිබුණ ඉතාම බරපතල ප්‍රශ්ණයකට පිළිතුරු ගොනු කරගැනීමේදී තරමක් පහසුකාරී විය. එනම් ලාකීය දේශපාලනය තුල පියසීලී සහ විජේ ඩයස් ස්ථානගත වන්නේ කොතැනද යන ප්‍රශ්ණයයි.

ඔවුන් එන්න එන්නම පොදුජන අවකාශයෙන් වියෝ වීම තුල මගේ අදහස වඩවඩාත් තහවුරු වුණේය. ඔවුන්ගේ දේශපාලනය වෙබ් අඩවියකට සීමා වන විට, අපගේ දේශපාලනයට වෙබ් අඩවියක් තබා පතල් වාඩියක් වත් නොමැති වීම ගැන මා එතරම් සැලකිලිමත් වූයේ නැත. කොටින්ම සැලුනේම නැත.  එහෙත් පියසීලී යමක් උගන්වා සමුගෙන ගොස් ඇති බව දහඅට සන්නියෙන් පසුව මගේ හිසට වද දෙන්නට පටන් ගත්තේ කුමක් නිසාදෝයි තවමත් හරි හැටි නොවැටහෙන්නේය. ඒ පිළිබඳව ඉතාම තදින් කල්පනා කල යුතු බව පමණක් දැනට වරින් වර සිහියට නැගෙමින් තිබේ.

එහෙත් නිර්මාල්ට එකක් පැවසිය යුතුය. නැවතත් ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය තේරීමේ තරඟයකදී වාසුවම තෝරා ගැනීමට පෙළඹුනහොත්, මාක්ස්වාදයේ දෘඩතර දෘව්‍යවාදී ස්ථාවරයන්ට එරෙහිව යමින් පියසීලීගේ ආත්මය පැමිණ ඔබගේ කට මිරිකා කණ පලනු නියතය. එතැනදී වටේ ගැවසෙන්නන්ද ප්‍රවේශම් විය යුතු බව මගේ අදහසයි. මම පියසීලී ගැන බොහෝ දේ නොදනිමි. එහෙත් ඇගේ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් කියවා ඇත. ඒ ප්‍රමාණය ඇය ලියා ඇති සියල්ලෙන් සොච්චමක් බව හොඳාකාරවම දනිමි.

ඇගේ ලිපියක් මුලින්ම කියවූයේ පාසල් යන අවධියේදීමය. ඒ මහාචාර්ය ගම්ලත් සමඟ කල වාදය අරබයා දිවයින ට ලියූ ලිපියකි. මා ඒ ලිපි කියවූවාට වැටහුණු කිසිවක් නැත. එහෙත් කියවීම අත් නොහැරීමි. (සැබැවින්ම පසුවත් කිසිවක් වැටහුණේ නැත. වෙනත් අය පවසන දෙයින්ම අදහස් සම්පාදනය කර ගතිමි.)  මා අවසානයට කියවූ ඇගේ කෘතිය අරුන්දතී රෝයිගේ නවකතාව අරබයා ඇය විසින් සම්පාදනය කල විචාර ග්‍රන්ථයයි. ඒ වන විට මා එම අදහස් තරමක් හොඳින් වැටහෙන අවධියක පසු වුවත් ඒ හැම අදහසක් කෙරෙහිම පාහේ තදබල විවේචනයක්ද සහිතවය. සමහරවිට ඇගේ ලේඛන වැටහීම ආරම්භ වූයේම ඒවා කෙරෙහි විවේචනයක් සම්පාදනය වීමත් සමඟ යයි සිතමි. (මෙය වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන්ද වඩාත් සමබර සත්‍යයකි.)

මාක්ස්වාදී සාහිත්‍යයට ඇළුම් කිරීම සඳහා, පියසීලී-ගම්ලත් විවාදය රුකුල් දුන්නා සේම, මාක්ස්වාදී විශ්ලේෂණ කියවීම එපා කරවීම සඳහාද ඇයද ඇතුලත්වූ ස.ස.ප. විසින් සම්පාදනය කල ලේඛන හේතු විය. ඔවුන්ගේ බරපතලම සුගුණ හා දුගුණ යන දෙකම මේ යයි සිතේ. පශ්චාත් නූතන ව්‍යාධියකට ගොදුරුව සිටි නිසාදෝ, එවකදී නොවැටහුනත්, X කණ්ඩායම සිරවී සිටි උගුලද මීට ආසන්න බව මෙකලදී සිතෙයි. එහෙයින් අප පියසීලිගෙන් සමුගන්නා ගමන්ම මෙම අභියෝගයන් පිළිබඳව පොහොසත් සාකච්ඡාවකට එළඹෙන්නේ නම් ඒ යහපති. එමෙන්ම එය දේශපාලන අධිෂ්ඨානය අවුළුවාලන වඩාත් ස්ථිරසාර දේශපාලන ජීවිතයකට පණ දුන් පියසීලිට කරන මහත් වූ ගෞරවයක්ද වනු ඇත.

මා පියසීලී පොත පතින් හැරෙන්නට වෙනත් කිසිදු ආකාරයකට ඇසුරු කර නැතත්, මම ඇයව වතාවන් ගණනාවකදීම දුර සිට දැක ඇත්තෙමි. එතරම් වූ සුන්දර ගැහැණියක් මේ තරමටම බර අඩි තබමින් දේශපාලන ලෝකය තුල සක්මන් කිරීම මහත්වූ පුදුමයක් උපදවීමට සමත් විය. මා මජරමය පුරුෂාධිපත්‍ය චින්තනයක් තුල ගිලී ඇතැයි යන අවලාදයට කෙතරම් ලක් වුවද පියසීලී වැනි සුන්දර ගැහැණියක්, ඒ සැහැල්ලු සළු පිළි අතර වූ බරසාර චින්තනය සහිතවම නැවතත් දේශපාලන ජීවිතය තුල දැක ගැනීමට තදින් ඇළුම් කරන්නෙමි.

- ප්‍රදීප් ජයරත්න

2 comments:

Anonymous said...

yako ,
meka thamath wamata pennuwe ndda
BOLAW.

charmi said...

පියසීලි ගැන තවත් ලිපියක්
http://c-u-l-t.blogspot.com/2011/08/blog-post_1541.html