Thursday, September 23, 2010

ජ.වි.පෙ. මිතුරන් වෙතටයි....!

මැදමුලන, කැඳවීම සහ ජ.වි.පෙ. නැවත කැඳවීම

ගොඩබිම් බලය, ගුවන් බලය සහ නාවික බලය සහිත, එහෙත් ජාත්‍යන්තර පිළිගැනීම නමැති ඌණතාවයෙන් පමණක් පෙළුණු, ලෙයින්, කඳුළින්, යකඩින් සහ දහඩියෙන් ගොඩනගා තිබූ මිනිස් අධිෂ්ඨානයේ පුරවරයක් සුනු විසුණු කොට බිමටම සමතලා කිරීමට මුළු මහත් ජාතියක්ම එකාවන්ව කැපවීමෙන් අනතුරුව,  18 වන සංශෝධනය නමැති හූණු බිජුවක් පුජාතන්ත්‍රවාදයේ මළගම ලෙස ඔසවා තබන්නට යත්න දරන්නේ ඇයි?

අස්වයා පැනගොස් හමාරය. ඉස්තාලය කරපිට තබාගෙන යාම ගමනට බාධාවක් මිස තල්ලුවක් නොවේ. කරුණාකර ඉස්තාලය බිමින් තබන්න. දැන් ටිකක් විවේක ගන්න. ඔබේ වෙහෙස ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට එරෙහිව අරගලයේ යෙදීම නිසා නොවේ. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වල දැමීමට කැපවීම නිසාම පමණි.

වෙහෙස වී සිටින ඔබට පමණක් නොව ‘අපටත්’, මුළු රටටමත් මාලිමාවක් ඕනෑකර තිබේ. සියල්ල කේන්ද්‍රය දෙසට නාභිගත වී ඇති මොහොතක, කේන්ද්‍රය දෙස බලාගෙන පරිධියට කෑගැසීමෙන් පලක් නොවේ. මේ චක්‍රයෙන් ඉවත් විය යුතුය. ඒ සඳහා දේශපාලනය කැඳවිය යුතුය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිරාජ්‍යවාදී L.T.T.E සංවිධානයට විරුද්ධව “අධිරාජ්‍ය විරෝධී දේශීය මැදමුලන කඳවුර” සමග එකට අත්වැල් බැඳගත්තේ සකල ලෝකවාසී පීඩිතයන් වෙනුවෙනි. මැදමුලන කඳවුර සමග අත්වැල් බැඳ ගැනීම උපක්‍රමයක් මිස මැදමුලන දේශපාලන ස්ථාවරය පිළිගැනීමක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණට අනුවම, මැදමුලනත් අධිරාජ්‍යවාදී මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීද වෙයි. එහෙත් අවස්ථාවට අනුව දේශපාලන උපක්‍රම තෝරාගත යුතු නිසා, එක් අධිරාජ්‍යවාදී කඳවුරකට එරෙහිව තවත් අධීරාජ්‍යවාදී කඳවුරක් සමග අත්වැල් බැඳ ගැනීමේ වරදක් නැත. ඒ අනුව L.T.T.E පමණක් නොව මුළු උතුරම දූවිලි බවට පත්වන තෙක්ම බැමි ලිහුවේම නැත. දැන් එක අධීරාජ්‍යවාදී කඳවුරක් අවසන් නිසා සටන වඩාත් පහසු විය යුතුව තිබුනත් සිදුවූයේ අනෙකකි. එනම් එක කඳවුරක් චප්ප කිරීමේ ව්‍යායාමය තුල ‍අනෙක් කඳවුර දස ගුණයකින් ශක්තිමත් වී තිබේ. මේ දැන් මෙතැන් සිට ඇසිය යුතු ප්‍රශ්ණය කුමක්ද?

මහත් වූ බලපරාක්‍රමයෙන් යුක්තව ගොඩනගා තිබූ මහපොලොවේ ව්‍යාපාරයක් පොඩිපට්ටම් කිරීමෙන් අනතුරුව, තැන් තැන් වල කුන්දු ගැසීමෙන් හෝ ගල්කටස් එකතු කිරීමෙන් විකල්ප දේශපාලන ව්‍යාපෘතියක් ඇරඹිය හැකිද? එවැනි දේශපාලන ව්‍යාපෘතියක් පිළිබඳව ඊනියා ජනතාව තුල විශ්වාසයක් ඇතිකල හැකිද? 

මා මෙතැනදී ජ.වි.පෙ න් ඍජුවම  ප්‍රශ්ණයක් ඇසීමට කැමතිය.

“වව්නියාවේ කාර්යාල විවෘත කිරීමෙන්, දෙමල ජනයාගේ අතීත අභිමානය හෝ බිඳවැටී ඇති විශ්වාසය නැවත ගොඩනැගිය හැකිද?

දේශපාලනය යනු වත්පිළිවෙත් පිරීම පමණක්ම නොවේ. පුරුද්දට මෙන් තන් තන්හි කාර්යාල ඇරඹීම සහ Airtel කුලුණු උතුරට සහ නැගෙනහිරට ව්‍යාප්ත වීම අතර වෙනසක් නැත.

දැන් කාර්යාල විවෘත කරන්නේ මැදමුලනට එරෙහිව නම්, එදා මැදමුලනට තදින් පහර දෙද්දී ඔවුනට එරෙහි වූයේ ඇයි?”


මා නැවතත් මුල් ස්ථාවරය වෙත යමි. එනම් එක් අධිරාජ්‍යවාදී කඳවුරක් විනාශ කිරීම සඳහා අනෙක් අධිරාජ්‍යවාදී කඳවුර සමග එකතු වීමේ මන්ද බුද්ධික දේශපාලන ස්ථාවරය වෙතයි. ඔබ ඉස්තාලය බිමින් තබා තවමත් නැවතුනු තැනම විවේක ගන්නේ නම්, මාලිමාව සොයා ගන්නා තුරු මා ඔබෙන් තවත් ප්‍රශ්ණයක් අසමි.

“මැදමුලන අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා ‘L.T.T.E අධිරාජ්‍යවාදය’ සමග අත්වැල් බැඳ නොගත්තේ ඇයි?”

අපි එම ප්‍රශ්නයම වෙනත් අයුරකින් වර නගමු.

“සිංහල-බෞද්ධ අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා ‘උතුරු නැගෙනහිර ආන්තික ජනයාගේ අධිරාජ්‍යවාදය’ සමග අත්වැල් බැඳ නොගත්තේ ඇයි?”

ඔබ ගෙන ඇති තීන්දුව ඉතාමත් පහසු සහ ක්‍රමය සමග ගැලපෙන තීන්දුවක් විනා දේශපාලනික තීන්දුවක් නොවේ. දැන් ඔබ ‘මැදමුලන දහඅට සන්නියට’ එරෙහිව ගෙන ඇති තීන්දුවත් ඉතාම පහසු සහ ක්‍රමයට අනුගත තීන්දුව විනා දේශපාලනික තීන්දුව නොවේ. අවශ්‍ය නම් ඔබට මෙතැනදී මැදමුලන අධිරාජ්‍යවාදයට එරෙහිව ඇමෙරිකානු අධිරාජ්‍යවාදය සමග අත්වැල් බැඳගත හැකිය. ඔවුන් මේ වනවිටත් ඔවුන්ගේ විරෝධය ඉතා තදින් ප්‍රකාශ කර හමාර බැවින් ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා අවසන්ය.

දේශපාලනයේදී ‘කැඳවීම’ සහ ‘නැවත කැඳවීම’ යනු ක්‍රියාවන් දෙකකි. ඔබ මැදමුලනට එරෙහිව අපව ‘නැවත කැඳවයි’. අප දෙවරක් සිතමින්, බකල් ගසමින්, තාච්චි පනිමින් හැංගිමුත්තන් කෙලීම අරඹා ඇත. මිනිස් දේශපාලන අධිෂ්ඨානය අමුතුවෙන් මුවහත් කල යුතු නැතත්,  දේශපාලනිකව පෙල ගැස්වීමට සමත් කැඳවීමක අවශ්‍යතාවය අනිවාර්යයකි. දැන් ‘පැරණි චක්‍රයම නැවත කැඳවීමට’ එරෙහිව ‘දේශපාලනය කැඳවිය’ යුතුය.

විවේකය අවශ්‍ය වන්නේ මේ පිළීබඳව බරපතලව කල්පනා කර බැලීමටය. මාලිමාව අත ගැටෙන මානයේම ඇතිවාට සැකයක් නැත.

- By Sade

4 comments:

ඩිනා said...

මිනිස් අධිෂ්ඨානය මත ගොඩනැගුනු පමණින් හෝ මහ පොළොවේ ව්‍යාපාරය්ක් වූ පමණින් එය පීඩිත ජනයාගේ යහපත පිණිසම වන්නේ නැත.
උපාය මාර්ග තේරීමේදී පවත්නා තත්වය මත එය සිදුකරන ලදී.
එහිදී මූලිකව සලකා බැලුනේ බහුතරයකගේ ජීවත් වීමේ අයිතියයි.

kala said...

antawaada 3kin dekak paradawa, ekak jayakgrahana kara eta.kalayutte, antawada atahera depettama akatuwa jayaggrahwi antawadaya peradaweema sandaha antawadee nowi katayutu kereemai.

Suji said...

මිනිස් අධිෂ්ඨානයේ පුරවරයක් ගැන කියමින්, ගොඩබිම,ගුවන්, නාවික බලයක් ගැන කියන එකත් හූණු බිජ්ජක් නෙමේද?
එහෙම කියද්දි tamil liberation fight එක militery එකෙන් වැහෙනවා නේද?

Anonymous said...

වව්නියාවේ කාර්යාල විවෘත නොකිරීමෙන්, දෙමල ජනයාගේ අතීත අභිමානය හෝ බිඳවැටී ඇති විශ්වාසය නැවත ගොඩනැගිය හැකිද?