Tuesday, December 6, 2011

දේශීය මන්තරය දේශීයත්වය උදෙසාමද ? (සෝමාවතී වනෝද්‍යානයේ අක්කර 11,600 ක් ඇමරිකානු ඩෝල් සමාගමට)

මෙවර පාරිසරික දේශපාලන සටහනට තරමක් දුරට හෝ පරිසරවේදී අදහස් කීපයක් රැගෙන එන්නට සිතුවෙමි. ඒ අවශ්‍යතා කීපයක් නිසා ය. ප‍්‍රධාන හේතුව වන්නේ සොබාදහමේ කෘෂිකර්මය, පරිසර සංරක්ෂණය, ප‍්‍රතිචක‍්‍රීකරණය ආදී පරිසරවාදී ප‍්‍රවේශයන් බොහෝ අවස්ථාවන් වලදී පාරිසරික ගැටළු වලට පිළිතුරු ලෙස අතීතය කරා නැවත යාමක් හා කළමණාකරණවාදී පිළිතුරු ගොණු කිරීමක් සිදු කරන බැවින් එවායින් පාරිසරික දේශපාලනික ප‍්‍රවේශයන් වෙන් කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාවයයි.

පස, පාංශූ ජීවින්, මතුපිට ජීවීන්, ගහ කොළ ආදියෙන් සමන්විත පරිසරය විනාශ මුඛයෙන් ගලවාගෙන මනුෂ්‍ය පැවැත්මට හිතකර පාරිසරික හා සමාජීය තත්ත්වයන් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවී වැඩකරන කි‍්‍රයාකාරීත්වයන්, අපි මූලික ප‍්‍රවර්ග දෙකකට බෙදා වෙන්කර ගනිමු. හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉන් එක කොටසක් ස්වාභාවධර්ම වාදය ලෙසත්, අනෙක් කොටස පරිසරවාදය ලෙසත් හඳුන්වමු. මෙම ප‍්‍රවේශයන් දෙකේ පවත්නා මූලධාර්මික වෙනස්කම් හඳුනාගැනීමට, මේවා කෙටියෙන් නිර්වචනය කිරීම ප‍්‍රමාණවත් වේ යැයි සිතමි. ඇන්ඩෲ ඩොබ්සන් ගේ ‘හරිත දේශපාලන චින්තනය’ නම් කෘතියේ පෙන්වා දෙන පරිදි එම නිර්වචන මෙපරිදි ය. 

ස්වාභාවධර්මවාදය -
                         වර්තමාන පරිභෝජනයේ හා නිෂ්පාදනයේ රටාවන් සහ වටිනාකම් වල මූලධාර්මික වෙනසක් සිදු නොවී පාරිසරික ගැටළු විසඳිය හැකිය යන විශ්වාසය උඩ ඒවා සඳහා කළමණාකරණමය ප‍්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටීම සහ  තර්ක කිරීමයි.

පරිසරවාදය -
            පරිසරවාදය දරන ස්ථාවරය වන්නේ වඩාත් තිරසාර හා සංතෘප්තකර පැවැත්මක් සඳහා, මානුෂීය - නොවන ස්වාභාවික ලෝකයට අප දක්වන සම්බන්ධය හා අපගේ සමාජීය හා දේශපාලන ජීවිතයේ මාදිලීන් වල රැඩිකල් විපර්යාසයක් ඉල්ලා සිටින බවයි. 

‘ගෝලීය උණුසුම’ ලෝකයේ විසඳිය යුතු ප‍්‍රමුඛ ගැටළු අතර හත්වන හෝ අටවන ස්ථානයේ පවතින ගැටළුවයි. ඒ සඳහා, එම ගැටළුව ඇති කිරීමට උපරිම අයුරින් වගකිව යුතු රාජ්‍යයන් යෝජනා කරන පිළිතුරු කීපයකි. එකක් ප‍්‍රතිචකී‍්‍රකරණය යි. අනෙක තෝරාගත් පහසු ප‍්‍රදේශවල වන වගාවයි. කර්මාන්ත ශාලා වලින් පිටවන තාපය අවම කිරීමේ තාක්ෂණික උපක‍්‍රම දියුණු කිරීම තවත් එක පිළිතුරකි. මේ පිළිතුරු වල ඇති ගැටළුව කුමක් ද? එනම් මේවා පවතින නිෂ්පාදන  මාදිලියත්, පරිභෝජන රටාවත් අවසාන අර්ථයේ දී ඒවා මගින් සකස් කර ඇති මනුෂ්‍ය ජීවිතයත් එලෙසම තබා ගනිමින්, යම් සංතුලනයකට පැමිණීමට උත්සාහ කිරීමයි. ලාභ ඉපයීමේ ක‍්‍රමවේදයත්, පාරිභෝගික භාණ්ඩ නිපදවීමේ මාදිලියත්, එලෙසම පවත්වා ගැනීමෙන් ගෝලීය උණුසුම පිළිබඳ ගැටළුවට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ තව තවත් හොඳින් පරිසරය සුරකිනවාය යන මායාවේ පවා ගිලෙමින් පාරිභෝජන අවස්ථාවන් වර්ධනය කරගැනීම පමණි. එය ගෝලීය උණුසුමේ මිනිස් හේතුව වු කාර්මික නිෂ්පාදන ක‍්‍රමය තවදුරටත් පුළුල් කර ගැනීමකි. 

මේ පිළිබඳව පරිසර දේශපාලන චින්තකයෙකු වන ‘පොරිට්’ (Porritt,J) බොහෝ කරුණු සාකච්ඡා කර ඇත. ඔහු තමන්ගේ Capitalism as if the World Matters (2005)  කෘතියේදී මෙලෙස සඳහන් කරයි.

‘‘පරිභෝජනවාදයේ වර්තමාන මට්ටම් සමග ‘සීමාවිරහිත ප‍්‍රතිචකී‍්‍රකරණය’ (Climitless recycling) එකිනෙක ඒකාබද්ධ කිරීම යන ප‍්‍රබන්ධය, වඩාත් සමීප වන්නේ පරිසර විද්‍යාත්මක දැක්මකට වඩා තාක්ෂණවේදී  දැක්මකට ය. ප‍්‍රතිචකී‍්‍රකරණය, එය ඒ සඳහාම ස්වාභාවික සම්පත් හා මූලාශ‍්‍ර භාවිතා කරයි, තාප දූෂණය ඇති කරයි, බලශක්ති භාවිතය ව්‍යාප්ත කරයි. එහි ගැඹුරු අර්ථයෙන්ම ගත්තොත් එය අනෙක් සියළු ඒවා මෙන්ම කර්මාන්තමය කි‍්‍රයාවකි. ප‍්‍රතිචකී‍්‍රකරණය ප‍්‍රයෝජනවත් මෙන්ම අත්‍යාවශ්‍යයි; නමුත් එය කුමන හෝ අති මූලික ගැටළුවකට පිළිතුරු සපයාවි යැයි සිතීම මුලාවකි.’’   

පොරිට් සඳහන් කරන අන්දමට ප‍්‍රතිචක‍්‍රීකරණය කළමනාකරණවාදී ප‍්‍රවේශයකි. අපි මුලින්ම සඳහන් කළ අතීතය කරා නැවත යාම මෙම කළමනාකරණවාදී ප‍්‍රවේශය මගින්ම වුව පැහැදිලි කරගත හැක. අපි ඒ සඳහා පවතින දේශපාලන දෘෂ්ටිවාදය පිළිබඳව කෙටි සාකච්ජාවකට අවතීර්ණ වෙමු.

පවතින ආණ්ඩුව කොළ ද, නිල් ද, රතු ද යන්න මෙතැන දී අපට අදාල වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ප‍්‍රධානතම මෙහෙයුම් දෘෂ්ටිවාදය පිළිබඳව පමණක් අවධානය යොමු කරයි. එනම් එය දේශීයත්වය අගයන, විදෙස් බටහිර චින්තනයට එරෙහි දේශීය  ජාතිකවාදයකි. මේ අනුව මාතෘ භූමිය නොරටුන්ට විකුණන අනුකරණවාදී බටහිර ගැති කි‍්‍රයාකළාපයන්ට කිසිදු ඉඩක් නැත. බළධාරීන් මෙන්ම නිලධාරීන් දේශීය ඥාණය මත පදනම් වූ සංවර්ධනයක් ගැන නිතර මතුරන්නේ එබැවිනි. ජනතාව ද මෙම දෘෂ්ටිවාදී මෙහෙයුමට පූර්ණ අනුග‍්‍රහය දී ඇති බව පෙනෙන්නේ, පැවැත් වූ සෑම මැතිවරණයකින්ම ඔවුන් ලැබූ ජයග‍්‍රහණ දෙස බැලීමෙනි. මේ තුළ දේශීය ඥාණය, පාරම්පරික දැනුම අපේ ඉතිහාසය හෝද හෝදා මඬේ දමන මාතෘකා බවට පත් කරගෙන නැවතත් අපි අපට උරුම ව තිබූ අතීත ශි‍්‍ර විභූතිය කරා යා යුතු බව අවධාරණය කරයි. පාලකයන්ගේ අපරිමිත උත්සාහය ඒ වෙනුවෙන්ම ය. එය පරිසර ආරක්ෂණවාදී සොබාදහම සමග බැඳුනු අල්පේච්ච ජීවන ක‍්‍රමයක් බව පෙන්වා දෙයි. මේ සඳහා බුදු දහම මෙන්ම අනෙකුත් සියළු ආගම් හැකි උපරිම ව යොදාගනු ලබන්නේ ය. 

ආණ්ඩුව කරන  ඕනෑම කටයුත්තක් මාතෘභූමියේ චිරස්ථායි පැවැත්ම සඳහා වන නිසා,  මහජනතාව ඒ  ඕනෑම එකක් සෙනෙහසින් යුතුව වැළැඳ ගත යුතුය. මතු දැක්වෙන්නේ එලෙස වැළඳගත යුතු ආණ්ඩුවේ කි‍්‍රයාවකි. සති අන්ත ප‍්‍රධාන පුවත්පතක මෙම ප‍්‍රවෘත්තිය පළ විය. ඒ සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත් භූමියෙන් කොටසක් කෙසෙල් වගාව සඳහා විදෙස් සමාගමකට ලබා දුන් බවයි. එම වාර්තාව අනුව ඩෝල් නැමති ඇමරිකානු සමාගමට අක්කර 11,600 ක් ලබා දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයත්, ශි‍්‍ර ලංකා යුද්ධ හමුදාවත් ඒකාබද්ධවය.  මේ පිළිබඳව අදහස් දක්වා තිබුණු පරිසර සංවිධාන වලට අනුව මේ වන විටත් වනෝද්‍යානයේ ඝන කැළෑ අක්කර 5,000 ක් පමණ හෙළි පෙහෙළි කර ඇති අතර, ඒ සිදුකර ඇත්තේ සත්ත්ව හා ශාක සංරක්ෂණ නීතිවලට පටහැනිව ය. එමෙන්ම ඩෝල් සමාගමට ලබාදී ඇති බිම් කොටස පාරම්පරික අලි සංක‍්‍රමණ පථයක් වීම තවත් ගැටළු රැසක් මතු කරයි. එකක් අළුත් ඊනියා අලි-මිනිස් ගැටුමක් වර්ධනය වීමයි. අනෙක දැනට ඉතිරී වී තිබෙන අලි සම්පත තව දුරටත් හීන වී යාමයි. 

මාතෘ භූමි ආරක්ෂණයේ සුවිශේෂී භූමිකාවක් රඟන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ම මේ ආකාරයේ දේශය ශක්තිමත් කරන ව්‍යාපෘති වලට අත තැබීම නිසා, ඒවාට ජනතාව කිසිසේත්ම එරෙහි නොවිය යුතුය. ජාතිකවාදී මන්තරය මතුරාගෙන ආවේශ වී හෝ පරළ වී සැනසීම අත්පත් කරගත හැකිය. මෙවැනි කි‍්‍රයාදාමයන්ගෙන් අප වටහාගත යුත්තේ කුමක්ද ? එනම් අතීතය කරා නැවත යාමේ දෘෂ්ටිවාදය විසින්, වත්මන් ලිබරල් - ධනේෂ්වර ආර්ථික උපාය-උපායක‍්‍රම සඟවා තබා ගන්නා බවයි. එනම් එම දෘෂ්ටිවාදය ජනතාවගේ අදහස් කළමනාකරණය කිරීමේ යෙදී සිටින බවයි. 

මේ නිසාම අද දවසේ සොබාදහමේ කෘෂිකර්මය වැනි මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කරන විට, ‘‘පාරම්පරික දේශීය ඥාණය’’ උත්කර්ෂයට නැංවීමට ඉහළම ඉඩ කඩක් විවර වී ඇත. අප එම උගුලේ හසු නොවිය යුතුය. ඒවාට ඉඩ ලබාදී ඇත්තේ ඒවා පොදු ජනයා අතර ව්‍යාප්ත කිරීමට නොව, ධනේෂ්වර මාදිලියේ කි‍්‍රයාකාරකම් වලට ආවරණයක් ලබා ගැනීමට ය. අප පාරම්පරික ඥාණය වැඩි දියුණු කොට භාවිතයට නොගත යුතුය වැනි යමක් මින් අදහස් නොවේ. ඊට වඩා මෙම දෘෂ්ටිවාදි මෙහෙයුම අවබෝධ කරගත යුතුය යන්න මෙතනදී අවධාරණය කරමු. 

අනෙක් අතට ගෝලීයව මේ මොහොතේ පවතින ප‍්‍රමුඛතම මිනිස් අර්බුදයක් වන ආහාර හිඟය සඳහා ලෝක ධනේෂ්වරයටම විසඳුමක් නොමැති තැන, ලංකාවේදී වගාවට උවමනා කොන්දේසි ස්වාභාවිකවම සැපිරී තිබෙන තත්ත්වයක් යටතේදී ඒ සඳහා ජනතාව යොමු වී තම ආහාර අවශ්‍යතා සපුරාගන්නේ නම්, එය ධනේෂ්වර පාලකයන්ගේ පැවැත්මටත් ඔවුන්ගේ ධනේෂ්වර කි‍්‍රයාකාරකම්වලටත් විශාල උපකාරයක් වන්නේ ය. එමගින් ධනේෂ්වර සැලසුම් විරෝධයකින් තොරව ක‍්‍රියාත්මක කළ හැකිය.මෙරට පොදු ජනයාට අබමල් රේණුවක යහපතක් සිදු නොවන නොරටුන්ගේ ලාභාපේක්ෂාවන් ඉටු කරන අධිවේගී මාර්ග ඉදි කිරීම වැනි ඒවා මේ අනුව දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇත. මේ නිසා සොබාදහමේ කෘෂිකර්මය දේශපාලනික අර්ථයෙන් වටහා නොගන්නේ නම් ඉන් අත්වන ප‍්‍රතිඵලයක් නැත.

අපි නැවතත් කෙසෙල් වගාව බාරගත් ඇමරිකානු ඩෝල් සමාගම වෙත හැරෙමු. මෙම සමාගම පිළිබඳව ස්වීඩන් ජාතික චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු වන ‘ෆෙඞ්රික් ගෙයටන්’ විසින් 2009 වසරේ දී BANANAS නමින් වාර්තා චිත‍්‍රපටියක් නිෂ්පාදනය කළේ ය. චිත‍්‍රපටයට පාදක වූයේ සමාගම විසින් නිකරගුවාවේ කරගෙන ගිය කෙසෙල් වගාවක සේවකයින් පිරිසක් එහිදී භාවිතා කළ DBCP නම් පළිබෝධනාශකය නිසා තමන්ට වූ හානිය පිළිබඳව සමාගමට එරෙහිව පැවරූ නඩුවකි. චිත‍්‍රපටය පිළිබඳ සමාගම අතිශයින් කළබලයට පත් විය. සමාගම විසින් චිත‍්‍රපට නිෂ්පාදකවරයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබිණි. සමාගමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඇමරිකාව තුළ මෙම චිත‍්‍රපටය තහනම් කරවා ගැනීමයි. නමුත් ඩෝල් සමාගම මෙම නඩුවෙන් පරාජයට පත් විය. චිත‍්‍රපට නිෂ්පාදකවරයාට නඩු ගාස්තු සහ නීතිඥ ගාස්තු ලෙස ඩොලර් දෙලක්ෂයක් ගෙවන ලෙස ලොස් ඇන්ජලීස් උසාවිය සමාගමට නියම කළේ ය. (මෙම විස්තරය ඇමරිකාවේ ප‍්‍රසිද්ධ සඟරාවක් වන, The National Law Review හි 2010 නොවැම්බර් කලාපයක පළ විය)

අප, මිල කළ නොහැකි රක්ෂිතයක අක්කර 11,600 ක් පූජා කර ඇත්තේ මෙවැනි අපකීර්තිමත්  ඉතිහාසයක් ඇති සමාගමකට ය. මේ මගින් දේශීය ඥාණය හෝ පාරම්පරික ඥාණයට අත්වන සෙතක් නැත. ඒ වෙනුවට ගෙදර දොරේ තවමත් අතරින් පතර හෝ වැවෙන කෙසෙල් පැළය පවා අතුරුදන් වීමේ අනතුරකට නිරාවරණය වී ඇත. පාරිසරික කෘෂිකර්මයට අළුත් දේශපාලන දැක්මක අවශ්‍යතාවය මෙමගින් අවධාරණය වන්නේ ය. අනෙක් අතට ආසනික් ගැන පැන නැගුණු හාහෝව පිළිබඳව අප පසුගිය නියරේ තැබූ සටහන නැවත නැවත කියවන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු. ඒ සමගම නලින් ද සිල්වා විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියන ‘දැක්ම’ කොළමත් නිතර කියවමින් ඒ පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියක් ඇතිකරගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එවිට නලින් ද සිල්වාගේ මැදිහත් වීම සේවය කරන්නේ කාට ද යනු ඔබට වටහාගත හැකි වනු ඇත. එමෙන්ම දේශීය මන්තරය විසින් විදේශීය ධනේෂ්වර මැදිහත්වීම් ආවරණය කරන අයුරුද අනාවරණය වනු ඇත.


ප්‍රදීප් ජයරත්න
'නියර' පුවත්පතේ 2011 ජූලි - අගෝස්තු කලාපයේ පළවූ ලිපියකි

1 comment:

Gordonia ceylanica said...

Great!!! Keep Writing...
Use Syndis