Thursday, October 21, 2010

මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි

 (මෙම සටහන බඹර වළල්ල චිත්‍රපටය නැඹීමෙන් පසුව කියවන්නේ නම් මැනවි.)

සිනමාව සහ යථාර්තය අතර සම්බන්ධයක් පවතීද, නොපවතීද යන්න, මේ වන විට යල් පැන ගිය ගැටළුවකි. ඒ එය විසඳාගත් නිසාම නොවේ. වෙනත් ගැටළු කරළියේ ප්‍රමුඛත්වය ලබාගත් නිසාම පමණි. කෙසේ වුවත් යථාර්ථය පුතිනිර්මාණය කිරීම යන්නත්, සිනමාව යනු ප්‍රබන්ධයක් යන්නත් එතරම් වෙනසක් නැත. මේ නිසා ප්‍රබන්ධයේ රස විමසා බැලීම විචාරක වෘතයක් ලෙස ගැනීමේ වරදක්ද නැත. ඒ අනුව සිනමා කෘතියේ  තිර පිටපත, රංගනය, දෙබස් හැසිරවීම, කැමරාකරණය, සංගීතය, අංග රචනය ආදී අනේක අංශ පිරික්සා බැලිය හැක. එහෙත් සිනමා කෘතිය සමස්තයක් ලෙස සිනමාත්මකභාවය සිත් ගන්නා සුළු අයුරින් ආරක්ෂා කරගෙන ඇත්නම් එකී අංග විමසීමෙන් තොරවම වෙනත් සාකච්ඡාවකට අවතීර්ණ වීමට අවසර ලැබෙනු නියතය.

20 වෙනි සියවස මුල් අවධිය තුලදී, අවිඥාණය; ලෝකය හමුවේ පෙනී සිටින්නට විය. ඒ සඳහා වින්නඹු කාර්ය සිගමන්ඩ් ෆ්‍රොයිඩ් ගේ අතින් සිදුවිය. ඒ සමගම මනෝ විද්‍යාවට වෙනස්ව මනෝවිශ්ලේෂණය නමින් විෂය ක්ෂේත්‍රයක් වර්ධනය වූ අතර අලුත උපන් දරුවාගේ අනන්‍යතාවය සලකුණු කරනු වස් ඇයව ෆ්‍රොයිඩියානු අවිඥ‍ානය ලෙස නම් කරන්නට යෙදුනි. මනුෂ්‍ය ජීවිතයේ පමණක් නොව සමාජ සත්තාවේද පදනම, අවිඥාණය වන බව පෙන්වීමට ෆ්‍රොයිඩ් අනවරත අරගලයක යෙදෙන්නට විය. සමහරවිට; ඒ වන විටත් මනුෂ්‍ය ජීවිතයේත්, සමාජයේත් පදනම ආර්ථිකය වන බව පෙන්වා දී තිබුණු කාර්ල් මාක්ස්ට එදිරිව වන්නට විය හැක. මේ දැන් මේ මොහොතේ මිනිසාගේ සත්‍යය ආර්ථිකයද, අවිඥානයද යනු තවමත් නොවිසඳී පොරබදන ගැටළුවයි.

අප මේ ජීවත් වන සමාජ ක්‍රමය ධනවාදයයි. එය ධනවාදයේ තෙවන කාර්තුව ලෙස හෝ නව ලිබරල්වාදී වෙළඳපොල ක්‍රමය ලෙස හෝ වෙන ඕනෑම ආකාරයකට හැඳින්විය හැකි වුවත් පවතින්නේ ධනවාදය ය යන්න මග හැර යා නොහැකි ලක්ෂ්‍යයයි. ඇති නැති පරතරය යථාර්ථයක් වනතාක් ආර්ථිකමය පදනමත්, ගැහැණිය කේන්ද්‍රය කරගත් ලිංගිකමය විඳවීම පවතින තාක් අවිඥාණික පදනමත් බැහැර කල නොහැකි මනුෂ්‍ය මූලධර්මයන්ය.

ඊනියා සාධාරණ ලෙස ලාබ ලැබීමේ පදනම එක්කෝ සූරාකෑමයි. නැතහොත් ගසා කෑමයි. ගුණගරුක යුවතියක හා එක්ව දරුවන් ලැබීම නම් සවිඥානික කැමැත්තේ පදනම පරිපූර්ණ ලිංගිකමය එකතුවීමක් පිළීබඳ අවිඥාණික ආශාවයි. අවිඥාණික ආශාව විසින් නිර්මාණය කරන ඉල්ලීම, සැබෑව හා සම්බන්ධ කරන සිත සනසවන ලූපය ෆැන්ටසියයි. එනම් අවිඥාණික ආශාව රඳවා තබා ගැනිමේ ආධාරකය යථාර්ථය නමැති ෆැන්ටසියම වන්නේය. ෆැන්ටසිය හා යථාර්තය අතර තවදුරටත් වෙනසක් නැත. යථාර්තය තිරය හෝ කැන්වසය මත ප්‍රතිනිර්මාණය කිරීම යථාර්තවාදී රීතිය ලෙස හඳුනාගත් නමුත් මේ මොහොතේ තිරය මත ගොඩනගන ෆැන්ටසි රූප පෙළ ඔබේ ජීවිතයේ යථාර්තය වී හමාරය. මෙගා නාට්‍යය අතරතුර වෙළඳ දැන්වීම් මෙන්ම වෙළඳ දැන්වීම් අතරතුර මෙගා නාට්‍යයත් අද දවසේ ඔබේ ආලින්දයේ පමණක් නොව, මහපාරේත් ප්‍රාර්ථනයයි. මේ චක්‍රය බිඳ නොදමන බවට පොරෙන්දු වන සැමට ඔබේ ආදරය පිරිනැමෙණු නිසැකය. මේ නිසා යුගයේ සටන් පාඨය ලෙස, කරදර නොකරන්න. කරකැවෙන්න ඉඩදෙන්න යන්න ගල්ගැසී හමාරය. සමහර විට මේ කරකැවෙන්නේ බඹර වළල්ල විය හැකිය. ඒ ඔබත් මමත් දෙදෙනාම රැගෙන කරකැවෙන බඹර වළල්ල වන බව නොකියා සිටිය හැකි වන්නේ ද?

තමන් තවත් කෙනෙකුට ආදරය කරන්නෙ තමන්ගේම ඇ‍ඟේම කොටසක් ලෙස සලකා නම් එය අතිශය ගැඹුරු මනුෂ්‍ය ආදරයක් විය යුතුය. එවැනි ආදරයක් පවතින වි‍ටෙක, ඔබව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇය, ඇයගේ දිවි පූජා කිරීම අනිවාර්යයකි. ඉතින් ඔබට ඔබව ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍ය වූ මොහොතක , කොහොමටත් ඔබ වෙනුවෙන් දිවි පිදීමට සිටින ඇයව ඇයගේ අවසරයකින් තොරවම වුවත් බිල්ලට දීමේ ඇති වරද කුමක්ද? තදින් ආදරය කරන්න. අවශ්‍ය වූ වහාම අවසරයකින් තොරවම බිල්ලට දෙන්න. 
මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි.

ඔබ, ඔබවම පාවා දුන්නේ ප්‍රතිලාභ රැසක් බලාපොරොත්තුවෙනි. ඔබේ බලාපොරොත්තු වලින් කොටසක් ඉටුවී ඇත. ඉටු නොවුණු කොටසක් තවම ඇත. එහෙත් ඔබේ පාවාදීමේ එකම රහස ප්‍රතිලාභ බලාපොරාත්තුවයි. ඔබ වරදක් කර ඇත. ඔබ ඔබවම පාවාදී ඇත. දඬුවම් විඳිය යුතුය. දඬුවම කොතරම් සරළද? ඔබට මෙතැන් සිට කන් ඇසෙන්නේ නැත. ඔබ බිහිරෙකි. ඔබට මෙතැන් සිට කතා කල නොහැකිය. ඉතින් ඔබ ගොළුවෙකි. අසම්පූර්ණව හෝ ඔබේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මේ දඬුවම් විඳිය යුතුමය. එහෙත් ඔබ දඬුවම් මග හරින්නේ නම්, එනම් ඔබ කතා කරන්නේ නම්, ඔබට අන් අයව ඇසෙන්නේ නම්, ඔබේ ප්‍රතිලාභ ඔබට හිමි නැත. ඉතින් ඔබ නැවතත් ඔබවම පාවාදිය යුතුය. 
මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි.

ඔබ අන් කෙනෙක් මරණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වී ඔහුට හෝ ඇයට අභය දුන්නේ ඇයි?
මම කලේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්....
ඔබ සිතනු නිසැකය. එහෙත් ඔබ කෙනෙකුට අභය දීමට ඉදිරිපත් වන විටම තමන් බිළිවීමට සූදානමින් සිටිය යුතු බව නොදැන සිටියේ මන්ද? එය ඔබ නොදැන සිටි නිසාම ඔබේ අවස්ථාව එළැඹි විට ඔබ බේරා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන බව ඔබට ඉතාම ගැඹුරින් අවබෝධ වනු ඇත. ඔබ අවබෝධයට පැමිණෙන විට ඔබ නැත. වෙන කෙනෙක් එතන ඇත. 
මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි.

ඉතාම නිශ්චිත මොහොතකට පසුව එළඹෙන සෑම මොහොතකදීම ඔබට කිසිවක් නොවැටහෙයි.නිශ්චිත මොහොත එළැඹි විට ඔබට සියල්ල වැටහෙන බව නොවැටහේ. මේ නිසාම තම පියාට උදළු පහර ගසන මොහොත දක්වා පොඩි එකාට කිසිවක් නොවැටහෙයි.

නමුත් ඒ මොහොතේ සියල්ල වැටහේ. පොලීසිය දුටු සැණින් පොඩි එකාගේ කලිසම අතරින් මුත්‍රා ගලා එයි. එතැන් සිට තරුණියගේ කෙස් වැටිය කපා දමන තෙක් පොඩිඑකාට නැවතත් කිසිවක් නොවැටහේ. නමුත් ඒ මොහොතේ සියල්ල වැටහේ.
මම අද ඉඳන් මඩවන්නේත් නෑ... මැඩවෙන්නේත් නෑ..
යනුවෙන් පවසමින් පොඩිඑකා පිටව යන්නේ සියල්ල තමාට වැටහෙන බව නොවැටහීගෙනමය.

මේ කරකැවෙන්නේ අවසානයේ තමන්ගෙන් පෙට්ටියක් මිලදී ගැනීමට පැමිණෙන්නාගෙන්
පෙට්ටියක් තෝරගත්තද..?
ලෙස අසනතැන දක්වා ගමන් කරන වැටහීමේ හා නො-වැටහීමේ චක්‍රයයි. වැඩිම පරිමාණයකින් නොවැටහීම හිණිම‍ගේ ඉහලටම ගමන් කිරීමේදී ආශීර්වාදයකි. එමෙන්ම නියම මොහොතේදී සියල්ල වැටහෙන බව නොවැටහීමද එතරම්ම ආශීර්වාදයකි. එහෙත් එම ආශීර්වාදය, ආශීර්වාදයේ තරමත්, එම ආශීර්වාදයේ උරුමකරු තීරණය කරන්නේ කවුරුන්ද යන්න නොදැනීමත්, යන දෙකම නොවැටහීම වෙනුවෙන් ලැබෙන වන්දියයි.

මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි.

- ප්‍රදීප් ජයරත්න

1 comment:

Anonymous said...

interesting comment on bambara walalla.habai tikak sankeerna wadi wage.typing mistake thiyenawath wage.film ekath ekkama kiyawanna ona satahanak.well.