Tuesday, October 19, 2010

වාසු මැරූ පර්සි...

මහින්ද, වාසුගේ මිත්‍රත්වය මෙලෙස මරා දැම්මේ මන්ද ?

වාසු මහින්දට හැමදාමත් සලකන ලද්දේ දේශපාලනයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදීත් මිතුරෙකු ලෙසය. වාසු සමඟ එකඟ නොවන සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කොතෙකුත් තිබුනද ඒවා සියල්ලෙහිම අතාර්කික පිළිතුරු, මිත්‍රයා ලෙස වාසුට මහින්දව මගහැර නොයාමට බැරිකම නිසා ඇතිවන්නක් බව වාසු සමඟ කරන කතා බහේදී හඳනා ගැනීමට පුළුවන. යූ.ඇන්.පී. යේදී ද මෙවැනි මිතුරෙකු වාසුට හමුවූයේ නම් වාසුගේ ස්ථාවරය කුමක් වනු ඇතිද?

කෙසේ වෙතත් අතීතයේදී ශ්‍රී.ල.නි.ප.යේ වඩාත් කැපී පෙනෙන තරුණ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.ප විපක්ෂයේ සිටියදී වඩාත් කැපී පෙනෙන අරගලකාරී මන්ත්‍රීවරයෙකුද විය. වාමාංශිකයෙකු, යූ.ඇන්.පී. විරෝධියෙකු හා අධිරාජ්‍ය විරෝධියෙකුද වන නිසා ‍මෙම කරුණු තුනම ශ්‍රී.ල.නි.ප.යට ලංවීමද වූ හේතු කාරණා  මත මහින්දගේ අදහස් වාසුගේ අදහස් සමඟ සමපාතව පැවතුණි. විපක්ෂය විසින් මෙහෙයවූ පාද යාත්‍රා විරෝධයන් වල හා 88-89 භීෂණ වකවානුව තුල මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වාසු සමඟ මහින්ද එ.ජා.සංවිධානයේ ලොබිවල සිට ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කලේය. ජිනීවා ගිය මාරක ගමන් වල මහින්දගේ හා වාසුගේ මිත්‍රත්වය එකම ගමන් මගේ සගයන් ලෙසද සලකුණු විය.

1994 චන්ද්‍රිකා ආණ්ඩුව විසින් කම්කරු ඇමති ධූරයට මහින්දව තෝරාගන්නා විට මුල්ම උණුසුම් පිළිගැනීම වාසුගේ විය. ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට අවශ්‍ය වූ  චන්ද්‍රකා ආණ්ඩුව මහින්දට  ඉඩ දුන්නේ නැත. වාසු, මහින්ද ජනපති වනතුරු කම්කරු ප්‍රඥ්‍යප්තිය අවංකව ක්‍රියාවට නගාවි යැයි විශ්වාස කලා විය හැකිය. ශ්‍රී.ල.නි. පක්ෂය  ප්‍රතිගාමීන්ට හා ජාතිවාදීන්ට දිනා ගැනීමට නොදෙමින් වාසු කල අරගලය හීන් කෙඳිරියක් වෙද්දී චම්පික හා ජ.වි.පෙ. සමඟ වාසු කවදත් අනුමත නොකල යුද්ධය, මහින්ද  දිනාගෙන කටයුතු කරමින් සිටියදී ද වාසුට වැදගත් වූයේ මහින්දගේ මිත්‍රකමයි. මන්ද එතෙක් යුද්ධය පවත්වාගෙන ගිය සියළු දෙනාටම එරෙහිවූ වාසු මහින්දව වෙනුවට විවේචනයේ දිශාව තෝරාගත්තේ චම්පික, විමල් හා ජ.වි.පෙ. දෙසට හැරෙමින්ය. අවසානයේ වාසු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉතිරිව තිබූ එකම සටන් පාඨය සහිතව මහින්ද සමඟ සිටියේය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද එහිදීද වාසුගේ මිත්‍රත්වයට අභිමුඛ විය. 1978 සිට වසර 32 ක් ජනාධිපති ක්‍රමයට එරෙහි වූ  වාසු (අවු 17ක් යූ.ඇන්.පී යටද 16ක් චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.ප.යට ද ) නිහඬ වූයේ ජනාධිපති ක්‍රම‍ය සංශෝධන මගින් තම මිත්‍රයාගේ වාරයේදීම  දීර්ඝ කර ගැනීමෙන් පසුවය. තව දුරටත් වාසුට යූ.ඇන්.පි. යට දැක්වූ විරෝධය සමඟ තාර්කික පදනමක් ගොඩ නැගිය නොහැක. යූ.ඇන්.පී. යට නොහැකි වූ ආර්ථික ප්‍රතිපත්ති හා ලිබරල් ධනවාදයට අවශ්‍ය සියළු කොන්දේසි තම මිත්‍රයා වූ මහින්ද සපුරා ඇත. පාරිසරික හා සාමාජීය හේතු මත නොරොච්චෝලේ හා කොත්මලේ විදුලි බලාගාර වලට දැක්වූ විරෝධයන් නිසා පසුපසට ගිය රනිල් වෙනුවට ඉදිරියට ආ මහින්ද කෙනෙක් ඇත.

කොළඹ වාසුලාට දේශපාලන සටන් පාඨ ගැනීමට ඉතිරිව තිබූ පැල්පත් නිවාසද අහෝසි කරමින් ධනවාදයේ මතුපිට ලක්ෂණ වෙනුවෙන් යූ.ඇන්. පිය ද පසුබට වූ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ඇත. ජනතා නියෝජිත නගර සභා අහෝසි වෙමින් යයි. එහෙත් වාසුට මේ සියල්ල නැතිවූ පසුද ඉතිරිවන යමක් ඇත. ඒ මහින්ද හා තමන්ගේ මිත්‍රත්වයයි.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දී වාසු තමන් තුල තිබූ අනන්‍යතා වලින් ඉතිරිව තිබූ එකම අනන්‍යතාවයද අහෝසි කර ගත්තේය. එහිදී වාසු මහින්ද වෙනුවෙන් තමාව බිලි දුන්නේය. එහෙත් තම මිත්‍රයාගේ මිත්‍රත්ව ගරුත්වය වෙනුවෙන් මහින්ද එය නොගත යුතුව තිබුණි. කලින් කරගත් සාකච්ඡාවකින් වුවද තම මිත්‍රයාගේ ගෞරවය රැකීම සඳහා ඡන්දය ඉල්ලා නොගියේ නම් හෘද සාක්ෂිය ඇති කිසියම් හෝ මිනිසුන් පිරිසක් තවමත් සන්ධාන රජය සමඟ සිටිනු ඇති බවට අපටද ඒත්තු ගන්වන්නට තිබූ අවස්ථාව, මහින්ද තමා ගැනම කල සිතීම තුල පසෙකට ගියේය.

වාසු මහින්දගේ මිත්‍රයා වුවද, මහින්ද වාසුගේ මිත්‍රයා වූයේ නැත. ප්‍රතිපත්ති මත දේශපාලනය කල, පුද්ගලිකව හොඳ මිනිසෙක් ලෙස බොහෝ දෙනා දන්නා වාසුට, තමන්ගේ දේශපාලනයේ අවසන් කාලයේදී හෝ හෘද සාක්ෂියක් සහිත මිනිසෙක් ලෙස මියයන්නට සැලැස්වූයේ නම් මහින්ද තම යාළුකමට වාසුට කල ලොකු ගෞරවාන්විත සැලකීමක් ලෙසටවත් එය සටහන් කල හැකිව තිබුණි. දැන් සියල්ල ඉදිරී ගොසිනි. මිත්‍රත්වය යනු කුමක්ද?

මිත්‍රකමට නොසලකමින්, මිත්‍රයාගේ ආත්මයම තම පුද්ගලික දේශපාලන අරමුණ වෙනුවෙන් මහින්ද ලබා ගන්නා විට පරිස්සම් විය යුත්තේ වාසුලා පමණක් නොව, නාමල්ලා ද පීතෘත්වය ගැන එලෙසම සිතිය යුතුව ඇත. ඒකා අධිපති යනු ඒකාමය. ඒ තුල අන් කවරෙකුද නැත.

-MAK පෙරේරා

2 comments:

Ravi said...

අහෝ වාසු,
අවසන අපේ පරමාදර්ශී සටන් කාමියා ට සිදු වූ දේ,

ඔහු තම දිවියම කැපකලේ කුමකටදැයි,
අපට පැනනඟින පිලිතුරු නොමැති ප්‍රශ්නයට,
දයාබර වාසු, ඔබ ද තමන්ගෙන්ම අසාගන්නා බවද,
ඊට අපට මෙන්ම ඔබටද පිළිතුරු නොමැති බවද,
පමණක් දන්නෙමි.

Anonymous said...

mithtrathwaya yanu pawa diya haki deyai.me ape mithtrayange awasthanochitha udana wakyayaki.kalyata amathaka une manda.dan weeraya kawda?