Wednesday, October 6, 2010

'නොඇසූ කන් වලට'
අපිළිවෙලට කියවීම...... (01 කොටස)


මාතෘකාවේ සඳහන් වන 'වල' යනු කැලයයි. එක්කෝ මෙය මුද්‍රණ දෝෂයකි නැත්නම් කුමාරිට උවමනා මාතෘකාවම ය. මා සිතන ආකාරයට මෙය කුමාරිගේ මාතෘකාවම විය යුතුය.

වල් වැදී කැළැවන් බවට පත් වූ කන් වලට කුමාරි යමක් කියන්නට උත්සාහ කර තිබේ. එහෙත් එය කෙතරම් අසීරු කාර්යයක් ද යන්න, මාතෘකාවෙන්ම පිළිබිඹු කිරීමට උත්සාහ දරා ඇත. එය සියුම් මැදිහත්වීමකැයි සිතමි.

කෙසේ වෙතත් මෙතනදී පැන නගින සුපුරුදු ගැටළුවකි. එනම් කුමාරිගේම වූ අභිප්‍රාය කුමක්ද යනු සෙවිය හැකිද යන්නයි. එය එතරම් දුරට සැලකිලිමත් විය යුතු ගැටළුවකැයි නොසිතමි. 'පොත' කියවීමේ මගේ අභිප්‍රායම මේ අකුරු අතර දියවී යන බව පමණක් සඳහන් කරමි. අනෙක් අතට කෘතියේ කතෘත්වය කුමාරිට පමණක් හිමි නොවන අතර එය තවත් නම් රැසකට උරුමකම් කියයි. එම නිසා කතුවරියකගේ අභිප්‍රාය යනුවෙන් යමක් ඇත්තේම නැත. කතෘත්වය නම් රැසක් තුල විසිරී ගිය අනන්‍යතාවයකි. එය කෘතියකට රැගෙන එන නව ලිවීමේ මානයකි. අකුරු අකුරු ලෙසත්, චිත්‍රය අකුරු ලෙසත්, අකුරු චිත්‍ර ලෙසත් ආදී ලෙස කෘතිය කියවීමට අළුත් අවස්ථා රැසක් එකතු කර ඇත. මේ වර්ගයේ පළමු කෘතිය මෙය නොවුනත්, මෙය මේ මොහොතේ ඉතාම වැදගත් මෙහෙයුමකි.

කෘතිය මිනිසුන්ට හඳුන්වා දීමේ අවස්ථාවට, දෙසීයක පමණ පිරිසක් සහභාගි වීම දේශපාලනිකව තීරණාත්මක යැයි සිතමි. ඒ ඉතාම දුප්පත් ප්‍රචාරණයකින් අනතුරුව වීම එහි වැදගත් කම තවත් වැඩි කරයි. මේ එළඹ ඇති මොහොතේදී අවශ්‍ය වන්නේ ප්‍රධාන ධාරාවේ රැළි නගන නදියට එකතුවී, වැටී, කකුල් පැටලී ගසාගෙන යන්නවුන්ටත්, ගොඩට එන්නට අතදිය හැකි තරමේ මිනිස් දම්වැලක් නිර්මාණය කර ගැනීමය. එවැනි උත්සාහයකදී 'කුමාරිගේ' කෘතිය වටා එකතු වූ පිරිසත් ඔවුන් ගතකල දෙපැයත් ඉතා වැදගත් කො‍ට සලකමි.

මා කුමාරිගේ 'කෙටි කරපු දිග කතා' කෘතියට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කල අතලොස්ස අතර සිටි අයෙකි. එම කෘතිය අරබයා මාගේ ප්‍රධානතම විවේචනය කුමක්ද? එනම් කෘතියේ සෑම අකුරක් තුලින්ම මතු වී, අන් සියල්ල කෙරෙහි තීන්දු තීරණ දීමෙන් අනතුරුව, අවසානයේ ඉතිරි වන එකම නිවැරදි මනුෂ්‍යා බවට කුමාරිවම පත් කර ගැනීමයි. මාගේ මෙම අදහස සමග දහ පහලොස් දෙනෙකුම එකඟ වූවත්, ඔවුන් කිසිවෙක් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් මා එම අදහස 'LLP සඟරාවට' ලියූ පසු කුමාරි මා සමග තරහා වූයේ ද නැත. එහෙත් ඇය, කෘතියට කළ කිසිදු විවේචනාත්මක අදහසක් එම කෘතියේ දෙවන මුද්‍රණයේ අගපිටු වලට එකතු කළේ නැත. එය කුමාරි පොරබදන ප්‍රශ්ණයේ විශාලත්වය හා සසඳන විට තරම් නොවේ.

කල්‍යා කියන පරිදි කුමාරි දැන් 'පවතින' දේශපාලන සංවිධාන හෝ පක්ෂ වලට වඩා විශාල මනුෂ්‍යයෙකි. එය මම ද එලෙසම අනුමත කරමි. ඒ නිසා මගේ විවේචනය ඇය අඹමල් රේණුවකටවත් මායිම් කලාදැයි යන්න සැක සහිතය. මගේ විශ්වාසය ඇයට එම විවේචනය කිසිදු බලපෑමක් නොකළ බවයි.

එහෙත් අවසානයේ මට කීමට ඇති කාරණය කුමක්ද? එනම් ඇය මගේ විවේචනය ඉතාම හොඳ මට්ටමකින් අතික්‍රමණය කර ඇති බවයි. මගේ කිසිදු බලපෑමක් නොවූවත් ඒ මට මහත් සතුට දනවන කාරණයකි.
 

-ප්‍රදීප් ජයරත්න 
Picture From Tehelka Magazine, Vol 6, Issue 4

1 comment:

Anonymous said...

me kiyaveema nawatha wimasannata aphasu ekak.eya durwalathawayak uwath prabala liweemak.