නොඇසූ කන් වල ට.
අපිළිවෙලට කියවීම - 03 කොටස
(මෙය ‘මී පුප් ලදිමි’ කවිය සමග මගේ අතීතය එකට එකතු කිරීමකි.)
මට, මගේ ආච්චි අම්මා කොබෙයි පවුලේ කථාන්දරය කියා දෙන විට මගේ වයස අවුරුදු හතක් හෝ අටක් වන්න ට ඇත. නමුත් කථාව පැවසුවේ සවස හතට පමණ ගොම්මන් අඳුර පැතිරෙමින් තිබුණු මොහොතක බව මට නිච්චියටම මතකය. ඒ මොහොතේ කොබෙයියෙකුගේ විලාපයක් ඇසුණ වග මා මතකයේ නැතත් බොහෝ නිශාචර සතුන්ගේ කෑ මොර දීම් ආරම්භව තිබුණාට කිසිම සැකයක් නැත. ඇයට ඒ නිශාචර සතුන් අතරින් එකියක හෝ මඟ හැරී නොතිබෙන්නට ඇතැයි මට අද දවසේත් ගොම්මන එළෙඹත්ම සිතෙන්නේය. ඒ මට බොහෝ සතුන් උන්ගේ හඬින් හඳුනා ගැනීමේ හැකියාවක් අදද පවතින බැවිණි.
කෙසේ වෙතත් ඇය මා හට කොබෙයි විලාපයේ අතීතය මතක් කර දී එය බොහෝ වේලාවක් මා සමග ගායනා කළාය. ඒ වචන මෙපරිදිය.
මී පුප් ලදිම්
දරු නොලදිම්
රන්කැටි පුතා
කෝ කෝ .
ඇය ඇයගේ කථාන්දර වලින් මා තුළ විවිධ වූ හැඟීම් ඇති කරවන්නට සමත් වන්නීය. මා තුළ සතුට හෝ දුක පමණක් නොව, සතුටු විය යුතුද? දුක් විය යුතුද? යන්න ගැන ප්රශ්නාර්ථයක් ඉතිරි කරන්නට පවා පෙළෙඹන්නීය. එහෙත් ඇතිවූ කවර හැඟීමක් අවසානයේ වුවත් ඇයගේ සෙනෙහස තුළ මා දියකර හරින්නට සමත්වන්නී, මා සුරක්ෂිත බව මා තුළ තහවුරු කරවූවාය.
එහෙත් කුමාරි, ‘මී පුප් ලදිම්’ කොබෙයි විලාපය ණයට ගනිමින්, අනාරක්ෂිත බවම ආත්මය කොටගත් මව තම දරුවා අහිමිවීමේ වේදනාව කෑ ගසා ලොවට කියන්නට දරනා වෙහස අකුරු කරන්නට තතනනා විට, ඇතිවන හැඟීම මින් පෙර කිසි දිනෙක ඇති නොවූවකි. ඇය එය සුළු වෙනසකට ලක් කර ඇත.
"මී පුප් ලදිමි
දරු ද ලදිමි
රං කැටි පුතා
කෝ කෝ"
(නොඇසූ කන් වලට - පි.32)
කොබෙයි මවගේ හැඬුම, මී මල් ලැබෙද්දී, දරුවා නොලැබීම පිළිබඳවය. මිනිස් මවගේ හැඬුම, මී මල් මෙන්ම දරුවාද ලැබෙද්දීය. ඇයට ඒ සියල්ල ලැබෙද්දීත් ඇය රංකැටි පුතා කෝ යනුවෙන් අසන්නීය. මේ නම් අරුමයකි. සිදුවිය හැක්කක් දෝයි සිතාගත නොහැකි සෙයකි. එහෙත් හිමිවෙමින් අහිමි වීම යුද්ධයේ යථාර්ථයම නොවන්නේ ද?. ජයග්රහණ හිමිවෙමින් ජීවිත අහිමි වෙයි. බිම් අඟලක් හිමිවන විටම අඩි හයක් අහිමි වෙයි. උතුරේත් දකුණේත් මවට මිනීමරු ගිණි අවියක් අත දරන සෙබෙලක් හිමිවෙමින් තම දරුවා අහිමි වෙයි.
ඉතිං ඇය ඔහු සොයයි.
පීර පීරා ඔහු සොයයි
වා තළය උණුසුම් කරයි.
දැවෙන හදවත අළු කරන්නට වෙර දරයි.
...........................................................
සීතලේ ගුලි ගැහි ගැහී
ඒ,
උණු අළු යටට වී
අප
උණුසුම සොයයි.
සිදුවන්නේ කුමක්දැයි ඇය හරියටම දන්නීය. එහි සැකයක් ඉතිරි වී නැත. තවත් විමසන්නට දෙයක් නැත. තීන්දු කර හමාරය. එහෙත් සැනෙසන්නේ කෙලසකද?
"මගෙ තුරුළේ හිටපු එකා
කිරි සුවඳින් නොගිය මකා
අහෝ! කෙලස සැනෙසමි මා
රැගෙන ගියේ මිනිස් යකා."
(නො ඇසූ කන් වලට පි - 32)
මා මුළින් සඳහන් කල පරිදි කොබෙයි නද ඇසීමෙන් කොබෙයියන් පමනක් නොව බොහෝ සතුන්, උන්ගේ හඬින් හැඳිනීමේ හැකියාව ද මා සතුය. එහෙත් තිරිසන් ආත්මයක් අත්පත් කරගත් මිනිස් ශරීරයක හඬ, මා කිසි විටෙක මිනිස් හඬක් ලෙස හඳුනා නොගනු ඇත. එය මා හට නොමිනිස් හඬක් මය. ඒ මගේ ශිෂ්ඨත්වය නිසා යැයි මා උදම් අනන්නේ උවද, එය ශිෂ්ඨත්වයට බොහෝ දුර බව පසක් කිරීමට ඇය සමත් වී ඇත. ඇඟ කීරි ගස්වන භයංකාරත්වයක් මා සිත තුළ ඇති කිරීමට සමත් වූ 'මී පුප් ලදිමි' කවියේ ‘දොළ පාරක සිළි සිළිය ඇසෙන මානයේ, විදුලි පන්දම් එළියෙන් දිදුළන බළල් ඇස්,’ පේලි කීපය මේ සටහනේ අවසානයට සලකුණු කරමින් සටහන් කරනු කැමැත්තෙමි.
"මගේ පුතුට මිනිස් හිසකි
පා සතරක් නොවේ දෙකකි
දෙයියෝ! ඌ හැඬූ හැම කල
දිව්රමි මම මිනිස් හඬකි"
(නොඇසූ කන් වලට පි - 33)
- ප්රදීප් ජයරත්න.
1 comment:
ප්රදීප් මේ විචාර intrest නෙ. ඒව කරන්නකො දිගටම.
Post a Comment